පැතුම් ICC ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක

International Cricket

1000

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් එහි ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ඊයේ යාවත්කාලීන කර තිබූ අතර එහිදී  මෙතෙක් සිය ටෙස්ට් දිවියේ ඉහළම ශ්‍රේණිගත කිරීමට ලඟා වීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට හැකිව තිබේ. 

ඒ අනුව පැතුම්, ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 31 වැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ පියවර 21ක් ඉදිරියට පැමිණෙමින් වීම විශේෂත්වයකි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ මිලාන් රත්නායක ද ටෙස්ට් පන්දු යවන්නන් අතර පියවර 17ක් ඉදිරියට පැමිණ 69 වැනි ස්ථානයට පත්ව තිබිණි. 

කෙසේ වෙතත් කමිදු මෙන්ඩිස් පියවර 2ක් පසුබසිමින් 10 වැනි ස්ථානනයටත්, දිනේෂ් චන්දිමාල් එක් පියවරක් පසුබසිමින් 15 වැනි ස්ථානයටත්, ධනංජය ද සිල්වා පියවර 3ක් පසුබසිමින් 23 වැනි ස්ථානයටත්, ඇන්ජිලෝ මැතිව්ස් පියවර 3ක් පසුබසිමින් 26 වැනි ස්ථානයටත් පත්ව තිබිණි. 

ඊට අමතරව ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන් අතර පියවර 6ක් පසුබැස 15 වැනි ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයකි. අසිත ප්‍රනාන්දු එක් පියවරක් ඉදිරියට පැමිණ 20 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ. 

මේ වන විට ක්‍රියාත්මක ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දස්කම් මත පදනම්ව මෙලෙස ශ්‍රේණිගත කිරීම් සටහන් වී තිබූ අතර බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් ශැන්ටෝ සිය ටෙස්ට් දිවියේ ඉහළම පිතිකරු ශ්‍රේණිගත කිරීම ලෙස 29 වැනි ස්ථානයට පත්වී තිබීම කැපී පෙනිණි. ඊට අමතරව මුෂ්ෆිකර් රහීම් ද පිතිකරුවන් අතර 28 වැනි ස්ථානය හිමිකරගෙන තිබිණි.