පරාජයෙන් දිරි ගෙන ලෝක කුසලානයට සූදානම් විය යුතුයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්

International Cricket

253

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වීමේදී මෙම පරාජය, දිරිගැන්වීමක් ලෙස සැළකිය යුතු බවත් ඊට ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ අඩුපාඩු නිවැරදි කරගනිමින් සූදානම් විය යුතු බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසනවා. 

ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ කඩුලු 10ක දැවැන්ත පරාජයක් අත්විදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිල්වර්වුඩ් මෙලෙස පැවැසීය. 

'පළමුව කියන්න ඕනේ අපි අවසන් තරගය දක්වා සුදුසුකම් ලබන්න හොඳින් ක්‍රීඩා කළ කණ්ඩායමක්. යම් තරගාවලියක අවසන් තරගයට එනවා කියන්නෙත් ඒකත් ජයග්‍රහණයක්. එහෙත් අවසන් තරගය ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් අපිට සතුටු වෙන්න බැහැ. ඒක ක්‍රීඩකයින්ට වගේම පුහුණුකරුවන්ටත් පොදුයි. අපි ක්‍රීඩකයන් තුළ නැවත විශ්වාසය ඇති කරන්න ඕන. ලෝක කුසලානය වැනි දැවැන්ත තරගාවලියකට යනකොට මේ පරාජය කණ්ඩායමට දිරිගැන්වීමක් වේවි.

ඉන්දීය කණ්ඩායම අවසන් තරගයේදී ඉතා හොඳින් පන්දු යැවුවා, ඒක අපි පිළිගන්න ඕන. අපේ පිතිකරුවන් කඩා වැටුණා. අපි අවසන් තරගයේ ක්‍රීඩා කළ ආකාරය ගැන කලකිරීමක් තිබෙනවා. ලෝක කුසලාන තරගාවලියට පෙර විසඳාගත යුතු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.

ඒ කෙසේ වෙතත් කණ්ඩායම පිළිබඳව ධනාත්මකව බැලිය යුතුයි. ආසියානු කුසලානයේ අවසන් මහා තරගය පැවැති දිනය පැහැදිලිවම අපිට නරක දවසක්‍. තරගයක් මේ විදිහට අවසන් කිරීම ලැජ්ජාවට කරුණක්. අප සියලු දෙනාට එය දරා ගන්න අමාරුයි. ඒ කෙසේ වෙතත් අප අමතක කළ යුතු නෑ විශාල තරගාවලියක් ඉදිරියේදී එන බව. මේ දැවැන්ත පරාජයෙන් අපට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ක්‍රීඩකයින් අතරේ විශ්වාසය ගොඩ නැඟීමෙන් කණ්ඩායමක් ලෙස ඉදිරියට යා හැකියි. ඒක කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා' යනුවෙන් ශ්‍රී ලංකා පුහුණුකරු වැඩිදුරටත් පවසා සිටියා.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මතීෂ පතිරණගේ සහ දුනිත් වෙල්ලාලගේගේ දක්ෂතා පිළිබඳව ශ්‍රී ලංකා පුහුණුකරු පවසන්නේ මෙවන් අදහසකි.

'මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ ඉතා හොඳින් ක්‍රීඩා කළා. මේ දෙදෙනාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පෙරැළියක් කළ හැකි යොවුන් ක්‍රීඩකයින් බව ඔප්පු කළා. කුසල් මෙන්ඩිස් නැවතත් ලකුණු අතරට පැමිණියා. දක්ෂ පිතිකරුවන් හා දක්ෂ පන්දු යවන්නන් අපේ කණ්ඩායමේ සිටිනවා. නමුත් ක්‍රිකට් කණ්ඩායමක් එක හා සමාන දක්ෂතා සමඟ ස්ථාවරව ඉදිරියට යාම වැදගත්. ඉන්දියාව වැනි කණ්ඩායම් පරාජය කිරීම ගැන හිතන්න නම් ඒ ස්ථාවරත්වය වැදගත්. ලෝක කුසලාන තරගාවලියේදී අපි උපරිමයෙන් ක්‍රීඩා කළ යුතුයි' සිල්වර්වුඩ් පවසනවා.