ඇෆ්ගනිස්තානු කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් පසු මැතිව්ස් මාධ්‍යයට පල කල අදහස්...

ශ්‍රී ලංකා කණ්ඩායමට අවැසි ඕනෑම මොහොතක උපරිම සහය දීමට තමා සූදානම්

International Cricket

146
ශ්‍රී ලංකා  කණ්ඩායමට  අවැසි ඕනෑම මොහොතක  උපරිම සහය දීමට තමා සූදානම් බව ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙක්  වන ඇන්ජිලෝ මැතිව්ස් ඊයේ දින තරගයෙන් පසු මාධ්‍යයට පවසා ඇත. ඇෆ්ගනිස්තානය  සමග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි T20 තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවට අදහස් දක්වමින්  මැතිව්ස් මෙලෙස අදහස් පළ කලේය.  තවද වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වූ මැතිව්ස් , “වනිදු නායකත්වය භාර ගැනීමෙන් අනතුරුව සිම්බාබ්වේ සමගින් පැවැති තරගාවලියේ සිටම පන්දුවාර 2ක් හෝ 3ක් යොමු කරන ලෙස දැනුම් දුන්නා. එය කණ්ඩායමේ සංයුතියට විශාල වශයෙන් බලපානවා. ඕනෑම වෙලාවක මට හැකිනම් පන්දු යැවීමට මම සූදානමින් සිටිනවා. එසේම නායකයාගේ ඉල්ලීමත්  සමගින් තේරීම් කමිටු සාමාජිකයන් සමඟත් හොඳ කථා බහක් අපි අතරේ තිබුණා. ඔවුනුත් මට ආත්ම විශ්වාසය ඇතිවන අයුරින් කථා කර විස්සයි - 20 තරග රටාව තුළ මගේ සේවය අවශ්‍ය බව පැවැසුවා. ඒ අනුව මොන ආකෘතියේ ක්‍රීඩා කළත් මගේ සියයට 100ක් ලබා දෙන්න මම සූදානම්. එසෙම මම ඉතාමත් ආසාවෙන් ක්‍රීඩා කරන්නේ. මම ක්‍රිකට් ක්‍රීඩාව වින්දනය කරනවා. ඉතින් පුළුවන් උපරිමයෙන් කණ්ඩායමට මගේ සහයෝගය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.” ලෙස තම අදහස් දැක්වීය.
මෙම  තරගයේදී භාවිතා කල තණතීරුවත්, පිතිකරණයේදී එල්ල වූ අභියෝගයත් සම්බන්ධයෙන්  මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය .“මෙහිදී යොදාගත් තණතීරුව ඉතාමත් හොඳයි. පළමු පන්දු 10 ක් හෝ 15ක් මට අසීරු වුණා. මොකද සධීර අනිත් අන්තයේ සිටිද්දී මට වෙලාව ගන්න බැරි වුණත් මම එල්ල කළ සෑම පහරක්ම පන්දු රකින්නකුගේ අතට ගියා. නමුත් පන්දු 10ක් පමණ ක්‍රීඩා කළ පසුව තේරුම් ගියා තණතීරුව ඉතාමත් හොඳයි, පහසුවෙන් විශාල ලකුණු ලබා ගත හැකියි කියා. ඒ ආත්ම විශ්වාසය මට තිබුණා. එමෙන්ම සධීර අනෙක් අන්තයේ පිතිකරණයේ යෙදීම නිසා මට පහරදීම තවත් ලේසි වුණා. මොකද මම දැවී ගියත් සධීර අනෙත් අන්තයේ සිටියා. එසේම ඒ නිසා මට සුපුරුදු පහරවල් වලට යන්න පුළුවන් වුණා. නමුත් ක්‍රීඩකයකු වශයෙන් පළමු පන්දු 10 එක් ලකුණ හෝ දෙක බැගින් ලබා ගත හැකිනම් මීට වඩා දියුණු තත්ත්වයක් ලෙස දකිනවා.”
කෙසේ වුවද  කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම්  නායකයාට හිමි වූයේ නම් පළමුව පන්දු යැවීමට තීරණය කර තිබූ බවට ද මැතිව්ස් මෙලෙසින් පැවසීය. “මං හිතන්නේ අපි කාසියේ වාසිය ජයගත්තා නම් පළමුව පන්දු යැවීමටයි අපිත් තීරණය කර සිටියේ. මොකද පළමු තරගයේදී අපි පන්දු යවද්දී යම් පින්නක් වැටුනා. නමුත් මෙම තරගයේ දී පින්නක් තිබුණේ නැහැ. නමුත් තණතීරුව බැලූ විට අපිට සිතුනා දෙවැනියට පිතිකරණයේ යෙදීම හොඳයි කියා. මොකද පළමුව ලකුණු රැස්කළොත් කොතරම් ලකුණු සංඛ්‍යාවක ඉලක්කයක් ලබා දෙනවාද යන ගැන අදහසක් තිබුණේ නැහැ. ඊට හේතු වුණේ අපිත් කාලයකට පසුවයි දඹුල්ලේ ක්‍රීඩා කළේ. මේ හේතු නිසාම අපිත් සූදානමින් සිටියේ පළමුව පන්දු යැවීමටයි.”  
එසේම එලබෙන ලෝක කුසලාන තරගාවලියට සූදානම්  වන පසුබිමක් තුළ කණ්ඩායමක් ලෙස  මෙම ජයග්‍රහණයන් සම්බන්ධයෙන් කණ්ඩායමේ අත්දැකීම් බහුල පරිණත ක්‍රීඩකයෙක් ලෙස දක්වන අදහස් විමසූ විට මෙලෙස තම අදහස් දැක්වීය  මැතිව්ස් “ඕනෑම තරගයක් ජයග්‍රහණය කිරීම රටටත් කණ්ඩායමටත්, ඉතාමත් ලොකු දෙයක්. එවිට නිරන්තරයෙන් ආත්ම විශ්වාසය වර්ධනය වෙනවා. පසුගිය තරගයේ දී මම සිතන්නේ අපි වාසනාවකටයි ජයගත්තේ. එම තරගයේදී අපි විශාල වැරදි සංඛ්‍යාවක් සිදු කළා. නමුත් කණ්ඩායමක් ලෙස අපි තරගය ජයග්‍රහණය කළා. නමුත් මෙම තරගයේ දී පරිපූර්ණ ක්‍රීඩාශීලීත්වයක් ලබා දුන්නා. එසේම පසුගිය තරගයේ දී යොදා ගත් තණතීරුවට වඩා මෙම තණතීරුව හොඳයි. එසේම ඇෆ්ගනිස්තාන කණ්ඩායමත් කිසිදු ලෙසකින් වත් අවතක්සේරු කරන්න පුළුවන් කණ්ඩායමක් නොවෙයි. ලකුණු 180ක් ලබා ගත්තත් එය හඹා යෑමේ හැකියාව ඔවුන් සතුයි. එසේ වුවත් අපි හොඳින් පන්දු යැවුවා හොඳින් පන්දු රැකීම සිදු කළා.” 
 මෙහිදී ශ්‍රී ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටුව පිළිබඳ තම අදහස් ද මැතිව්ස් මෙසේ එක් කලේය. “මෙම නව තේරීම් කමිටුව, වත්මන් ක්‍රීඩකයින්ට විශාල ආත්ම විශ්වාසයක් ලබා දෙනවා. එසේම ඔවුන් සතුව නිෂ්චිත සැළසුමක් තිබෙන බව පෙනී යනවා. වෙනත් කටයුතු ක්‍රියාත්මක කරනවාට වඩා ඔවුන් නිෂ්චිත සැළසුම සඳහා මා ඇතුළු සියලු ක්‍රීඩකයින් ඇතුළත් කරගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් සතු මෙම සාධනීය අනාගත සැළසුම සමඟින් විශාල වෙනසත් පෙනෙනවා. ක්‍රීඩකයින් විශාල නිදහසකින් ක්‍රීඩා කරනවා. සිදු විය යුත්තේ එයයි. ජාත්‍යන්තර තළයට පැමිණි පසුව නිසි ලෙස අදහස් හුවමාරු කර ගැනීම තීරණාතමක සාධයක් ලෙස මම දකිනවා. ඔබ කණ්ඩායම සමග හොදින් අදහස් හුවමාරු කරගන්නවා නම්, අනාගත සැළසුම් හොඳින් පැහැදිලි කරනවා නම්, ලැබෙන ප්‍රතිඵල ගැන සතුටු විය හැකියි. ඒ අනුව වෙනස්කම් අමතක කර, වෙනත් අරමුණු නොමැතිව පලිගැනීම් වලින් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගැන සිතා ඉදිරියට යා යුතු බව මම සිතනවා.” 
එසේම නවක ක්‍රීඩකයෙකු වන මතීෂ පතිරණ පිලිබදව ද තම  අදහස් ප්‍රකාශ කල මැතිව්ස් කියා සිටියේ “මතීෂ පතිරණට ‘නෙට්’ එකේ මුහුණදීම තමයි අපිට තිබෙන විශාලතම අභියෝගය. මතීෂ පන්දු යවන ආකාරය අනුව පිතිකරුවන් බොහෝ දෙනෙකුට පන්දුව දැකගත නොහැකියි. ඒ වේගයත් අභියෝගයක්. නොකඩවා පැයට කිලෝමීටර් 150 ඉක්මවා පන්දු යැවීම සිදු කළ නොහැකි කාර්යයක්. එසේම ඔහු ලොව පුරා ‘ෆ්‍රැන්චයිස්’ ක්‍රිකට් ක්‍රීඩා කර ලබා ඇති අත්දැකීම් සමඟින් තවමත් 21 හැවිරිදි වියේ පසුවුවත් තරගයකදී අවසන් පන්දුවාරයේ ලකුණු 12ක් ආරක්ෂා කිරීම පැවරුවහොත් අවස්ථා 10කින් 9ක් හෝ 8ක් ජයග්‍රහණය කර දෙනවා. ඔහු එතරම් අසීරු පන්දු යවන්නෙක්. එම නිසා ඔහුව අපි හොඳින් බලාගන්න අවශ්‍යයි. ඔහු ඉතාමත් විනයගරුක ක්‍රීඩකයකු ලෙස පෙනී යන අතර මම ඉතාමත් ආසාවෙන් බලා සිටිනවා ඔහු ඉදිරියේදී ඔහු ක්‍රීඩා කරන ආකාරය ගැන දැකගන්න.” යන අදහසයි.
ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන අවසන්  විස්සයි විස්ස තරගය (21 වන බදාදා ) රාත්‍රී 7.00ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත