ශ්‍රී ලංකා කාන්තා පිලේ අයර්ලන්ත සංචාරය

පළමු එක්දින තරගය

Womens Cricket

62

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරයට අදාළව පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය අද (15දා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.15ට අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. 

ශ්‍රී ලංකා-අයර්ලන්ත එක්දින තරගාවලිය 2022-2025 අයි.සී.සී. කාන්තා එක්දින ශූරතා තරගාවලිය යටතේ පැවැත්වේ. ඒ අනුව මෙම තරගාවලියට එක්දින තරග 3ක් ඇතුළත්ය. මෙම තරගාවලියේ දෙවැනි තරගය එලැඹෙන ඉරිදා (18දා) බෙල්ෆාස්ට්හිදීම පැවැත්වීමට නියමිත අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එලැඹෙන 20 වැනිදාය. 

කෙසේ වෙතත් දෙරට අතර පැවැති විස්සයි-20 තරගාවලිය සඳහා එක් නොවූ නායිකා චමරි අතපත්තු එක්දින තරගාවලියට එක්වීමට නියමිතව ඇති බව ද සඳහන්ය. 

ඒ අනුව මෙම තරගය ඉතිහාසයට එක්වන්නේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන 5 වැනි එක්දින තරගය ලෙසිනි. මෙතෙක් පැවැති තරග 4න් 3ක ජය හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි. එක් තරගයක් තීරණයකින් තොරව අතහැර දැමීමට සිදුව තිබේ. 

එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරයට අදාළව පසුගියදා පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමාවට පත් වූයේ දෙපිළම තරග 1 බැගින් ජයගනිමිනි. එහි පළමු තරගයෙන් 4කඩුලු 7ක පහසු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. නමුත් දෙවැනි තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් හිමි වූයේ අයර්ලන්තයටයි. එය වාර්තා අතරට එක්වූයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව අයර්ලන්තය වාර්තා කළ පළමු ජයග්‍රහණය ලෙසිනි.