බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායමට පේරු තරඟාවලිය අහිමිවෙයි ද?

ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලිය 2024

National Athletics

112

පේරු රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇති කණිෂ්ඨ ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට එක්වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණිෂ්ඨ මළල ක්‍රීඩා කණ්ඩායමට අහිමි වීමේ තත්ත්වක් උද්ගතවී ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ කණ්ඩායමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම ක්‍රීඩා බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබීම ඊට හේතුව වශයෙන් සඳහන්ය.
පේරු රාජ්‍යයේ ලීමා අගනුවරදී පැවැත්වීමට නියමිත කණිෂ්ඨ ලෝක ශූරතා කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සුදුසුකම් සපුරා තිබිණි. කෙසේ වෙතත් යොවුන් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම දස්කම් දැක්වීමට අවස්ථාව හිමි වන ප්‍රධානතම තරගාවලියක් ලෙස මෙම ලෝක ශූරතා යොවුන් මළල ක්‍රීඩා තරගාවලිය හඳුන්වා දිය හැකිය.
මෙවර ලෝක ශූරතා කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය එළැඹෙන 27 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
එවන් පසුබමික වීසා බලපත්‍ර ලබා ගැනීමත් ගුවන් ටිකට්පත් සහ වෙනත් පහසුකම් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන මෙතෙන් ලැබී නොතිබීම නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගතවී තිබේ. ඒ අනුව මළල ක්‍රීඩා ආරංචිමාර්ග සඳහන් කරන්නේ අදාළ කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස මළල ක්‍රීඩා සංගමය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදු කර තිබූ බවයි. එසේ වුවත් ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් ලිඛිතව දැනුම්දී ඇත්තේ විදෙස් තරගාවලි සඳහා ලබා දිය හැකි මුදල් වියදම් කර අවසන්ව ඇති බැවින් යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දිය නොහැකි බවයි.
ඒ අනුව යොවුන් කණ්ඩායමට මෙවර ලෝක ශූරතා කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව ඇත. කෙසේ වෙතත් අවසානයේදී සඳහන් කළ යුතුව ඇත්තේ මෙවන් අකටයුතුකම් හේතුවෙන් ක්‍රීඩාවට තම ජීවිතය කැප කර ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දීමට හැකියාව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි අපහසුතාවයට පත් වන බවයි. එසේම නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ අමනෝඥ ක්‍රියා කලාපයන් නිසා රට වෙනුවෙන් තරග බිමට පිවිසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිහින බිඳ දැමීමට කටයුතු යෙදීම කණගාටුවට කරුණකි.
එසේම මෙවන් තත්ත්වයන් තුළ අනාගතයේදී ද ඔලිම්පික් පදක්කමක් යනු ශ්‍රී ලංකාවට සිහිනයක්ම පමණක් වනු ඇති බව ද පැවැසිය යුතුව තිබේ.