ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගය හෙට

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් තරග සංචාරයට අදාළව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට (21දා) පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතව ඇත.

International Cricket

86

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් තරග සංචාරයට අදාළව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට  (21දා) පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතව ඇත. 

එය එංගලන්තයේ මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට අදාළව පැවැත්වෙන මෙම ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ටෙස්ට් තරග 3ක් ඇතුළත්ව තිබේ.

ඒ අනුව මෑත කාලයේදී ටෙස්ට් පිටියේ ශ්‍රී ලංකාව මුහුණදෙන අසීරුතම අභියෝගය ලෙස මෙම තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය හඳුන්වා දුන්නාට වරදක් නැත. එසේම එංගලන්තය මෙම තරගාවලියට පිවිසෙන්නේ පසුගියදා නිමා වූ ටෙස්ට් තරගාවලියෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව තරග 3-0ක ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් මෙම තරගාවලිය සඳහා එංගලන්ත නිත්‍ය බෙන් ස්ටෝක්ස් එක් නොවීම එංගලන්තය පැත්තෙන් බැලූ විට යම් තරමක ආවාසි සහගත තත්ත්වයකි. 

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්ත ටෙස්ට් කණ්ඩායම මෙහෙයැවීමේ වගකීම හිමිවී ඇත්තේ ඔලී පෝප් වෙතයි. 

කුමන තත්ත්වයක් යටතේ වුවත් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ඉරණම පිතිකරුවන් දක්වන දස්කම් මත තීරණය වනවාට සැක නැත. එහිදී ජ්‍යෙෂ්ඨයන් ලෙස දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වාට කිසිදු ලෙසකින්වත් පැහැර හැරිය නොහැකි වගකීමක් පැවරේ. එසේම නිෂාන් මධුෂ්ක සහ කමිඳු මෙන්ඩිස් ද මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය තීරණාත්මක ලෙසින් බලපානු ඇත. 

එසේම මෙම තරගාවලියට පෙර පැවැති පුහුණු තරගයෙන් අමිහිරි පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. එහි පරාජයට ද මූලිකවම හේතු වූයේ පිතිකරුවන් දැක්වූ දුර්වලතා බව පෙනෙන්නට තිබිණි. ඒ අනුව එම දුර්වලතා මගහරවා ගෙන පළමු ටෙස්ට් තරගයට පවිසීම අත්‍යාවශ්‍ය සාධකයකි. එපමණක් නොව පිතිකරුවන්ට යෝග්‍ය ඕල්ඩ් ට්‍රැෆර්ඩ් තණතීරුව තුළ පළමු ඉනිමේදී විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකි වුවහොත් එය තරගාවලියේ ඉතිරි තරග සඳහා ද ධනාත්මක බලපෑමක් එල්ල කරනු නොඅනුමානය. 

මේ අතර පළමු තරගය සඳහා එක්වන එංගලන්ත කණ්ඩායම ඊයේ (20දා) ප්‍රකාශයට පත් කර තිබිණි. එහිදී එංගලන්ත කණ්ඩායමට වේගපන්දු යවන්නන් වන ක්‍රිස් වෝක්ස්, ගස් ඇට්කින්සන්, මැතිව් පොට්ස් සහ මාක් වුඩ් එක් කර තිබීම තුළින් පැහැදිලි වන්නේ එංගලන්තය ශ්‍රී ලංකාවට එල්ල කිරීමට සූදානම් වන දැඩි අභියෝගයේ තරමයි. 

කෙසේ වෙත්ත තරගයට පෙර පැවැති මාධ්‍ය හමුව අමතමින් ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු ඇන්ජිලෝ මැතිව්ස් කියා සිටියේ එංගලන්ත සංචාරය විශාල අභියෝගයක් බවයි. එහිදී තවදුරටත් මෙසේ ද අදහස් දැක්වූ මැතිව්ස් ‘මෙම තරගාවලිය නිසැකවම අපිට අභියෝගයක්. නමුත් එම දින 5 තුළ හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක් අපි සිදු කළහොත් තරගය ජයග්‍රහණයකින් නිමා කළ හැකියි.’ යනුවෙන් පවසා තිබිණි. 

එසේම මෙම ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා වැඩ බලන පුහුණුකරු සනත් ජයසූරිය පවසා තිබුණේ එංගලන්තය ටෙස්ට් පිටියේ මේ දිනවල ක්‍රියාත්මක කරන ‘බේස්බෝල්’ තරග රටාව කිසිදු ලෙසකින්වත් ශ්‍රී ලංකාවට ආධුනික රටාවක් නොවන බවයි. ඒ අනුව ඊට එරෙහිව ශ්‍රී ලංකාව සතුව සැළසුම් කිහිපයක්ම තිබෙන බවත් සනත් ජයසූරිය පවසා තිබිණි. 

මේ අතර මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු පිතිකරු ඉයන් බෙල් කටයුතු කරයි. එය යම් වාසි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකා පිතිකරුවන් වෙත ලඟා කරනු ඇති බව නොරහසකි. එහි තත්ත්වයන් ගැන පිතිකරුවන්ට පැහැදිලි අවබෝධයක් ලඟා කර ගැනීමට ඔහුගේ සේවය හේතුවනු ඇත.