පරාජය වුවත් කණ්ඩායමක් ලෙස හොඳින් ක්‍රීඩා කළා

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගය

International Cricket

135

එංගලන්තය සමඟින් පැවැති පළමු ටෙස්ට් තරගය පරාජයට පත් වුවත් කණ්ඩායමක් ලෙස ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු දිනේෂ් චන්දිමාල් පැවැසීය. ඔහු මෙලස අදහස් දක්වා තිබුණේ එංගලන්තය සමඟින් පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 5ක පරාජයට පත්වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව අමතමිනි. එහිදී තවදුරටත් මෙසේ ද අදහස් දැක්වූ දිනේෂ් චන්දිමාල් පැවැසූයේ මෙවැන්නකි. ‘පළමු ඉනිමේ අපිට තවත් ලකුණු 70ක් හෝ 100ක් ලබා ගත හැකි වුණා නම් මෙම තත්ත්වය වෙනස් වෙනවා. එයයි අපිට ප්‍රධාන වශයෙන් මගහැරී ගිය තැන. කඩුලු 3ක් ලකුණු 20ක් තුළ පැය භාගයකදී දැවී ගිය විට නැවතත් තරගයට පිවිසීම ඉතාමත් අසීරුයි. නමුත් නායක ධනංජය සහ මිලාන් නැවතත් නොසීතූ ලෙස තත්ත්වය කළමනාකරණය කරගත්තා. අපිව නැවතත් තරගයට ගෙන ආවේ ඔවුන් දෙදෙනායි. නමුත් එතැනින් පසුවත් යම් පසුබෑම් සිදු වුවත් මෙවන් තරගයක එවැනි දේ සිදු වෙනවා. නමුත් සමස්තයක් ලෙස ගත් කළ අපි කණ්ඩායමක් ලෙස ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. මින් පෙර අවස්ථා ගණනාවකදී අපි එංගලන්ත සංචාරයන්හි පළමු තරගය ඉතාමත් නරක විදියට පරදිනවා. නමුත් මෙම තරගයේ දී අපි ඉතාමත් හොඳ අභියෝගයක් එංගලන්ත කණ්ඩායමට ලබා දුන්නා.’  

එසේම සිය ආබාධය පිළිබඳ යොමු වූ පැනයට පිළිතුරු සැපැයූ චන්දිමාල් ‘මගේ දකූණතේ මහපටැඟිල්ලේ අස්ථි බිඳී තිබෙනවා. එය සිදු වූයේ 4 වැනි වරටයි. පන්දුව ඇඟිල්ලේ වැදුනු අවස්ථාවේ මම සිතුවේ ඇඟිල් දෙකට කැඩුනා කියලයි. ඒ තරම් වේගයෙන් වැදුනා. නමුත් වෛද්‍යවරුන් පැවැසූයේ පරණ අස්ථි බිඳීම් යළිත් අලුත් වෙලා කියායි. නමුත් මම ඒ අවස්ථාවේම වෛද්‍යවරුන්ට පැවැසූවේ මට නැවතත් පිතිකරණයේ යෙදි යුතු නිසා වේදනාව අවම වන ලෙස එන්නත් ලබා දෙන ලෙසයි. මට පිතිකරණයේ යෙදෙන්න අවශ්‍ය වුණා. මොකද මෙවන් අවස්ථාවන් ලැබෙන්නේ අඩුවෙන්. සමහර විට මෙය මාගේ අවසන් එංගලන්ත සංචාරය විය හැකියි. එහිදී උපරිම දක්ෂතා දක්වන්නයි මට අවශ්‍ය වුණේ. එහිදී මාගේ අපේක්ෂාව වූයේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස්කරලා ජයග්‍රහණයක් කරා යන්නට හැකිවේ කියායි.’ යනුවෙන් පැවැසීය. 

තවද මෙම තරගයේ පන්දු යවන්නන්ගේ දස්කම් ගැන ද අදහස් දැක්වූ ශ්‍රී ලංකා මැදපෙල පිතිකරුවා මෙසේ පැවැසීය. ‘මම වැඩිපුර පන්දු යවන්නන්ට දෝශාරෝපනය කරන්නේ නැහැ. මොකද තෙවැනි දිනයේ අවසන් භාගයට පෙර ඔවුන් පැය 2යි මිනිත්තු 30ක කාල පරාසයන් දෙකක් අඛණ්ඩව ක්‍රීඩා කළා. ඒ අනුව තෙවැනි දිනයේ දී ඔවුන්ට යම් මහන්සියක් තිබෙන්නට ඇති අතරම කාලගුණයේත් යම් අසීරුතාවයක් තිබුණා. නමුත් ඔවුන්ගේ උපරිමය කන්ඩායමට ලබා දුන්නා. නමුත් අපි සිතූ ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණා. මෙහිදී අසිත සහ ප්‍රභාත් සුවිශේෂී කාර්යයක් ඉටු කළා. ඒ අනුව ඉදිරි තරග වලදී එංගලන්තයට විශාල අභියෝගයක් එල්ල කර තරගයක් ජයගෙන ශ්‍රී ලංකාවට පිටත්ව යෑම අපේ ඉලක්කයයි.’ 

මේ අතර කමිඳු මෙන්ඩිස් පිළිබඳව ද මෙහිදී මෙලෙස අදහස් දැක්වූ චන්දිමාල් ‘ඔහු අති විශිෂ්ඨයි. මෙය ඔහුගේ පළමු එංගලන්ත සංචාරයයි. එහි මුහුණදුන් පළමු තරගයේදීම ශතකයක් වාර්තා කිරීමට කමිදුට හැකි වුණා. මටත් එංගලන්තයේ ශතකයක් වාර්තා කිරීමට තරගාවලි 2ක් ගත වුවත් ඔහු පළමු තරගාවලියේදීම ශතකයක් වාර්තා කර ගත්තා. ඒ අනුව ඉදිරියේදී ‘කවුන්ටි’ ක්‍රිකට් තරගාවලියට එක්වීමට ඔහුට අවස්ථාව හිමි වුවහොත් එය ඔහුගේ ක්‍රිකට් දිවියට වටිනා දෙයක් වේවි.’ යනුවෙන් පවසා තිබිණි. 

එමෙන්ම කමිඳු මෙන්ඩිස් සතු ධනාත්මක මානසිකත්වය ඔහු මෙතරම් සාර්ථකත්වයක් කරා රැගෙන යන බවත් චන්මාල් පැවැසීය.