ලෝඩ්ස් සීනුව හැඬවීමේ අවස්ථාව රංගනට

ලෝඩ්ස් ටෙස්ට් තරගයේ

International Cricket

43
ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයට අදාළව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළැඹෙන 29 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. එම තරගයේ ආරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායික සීනුව නාද කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට හිමිවී ඇති බව වාර්තා වේ. 
ඒ අනුව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අදාළ ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී මෙලෙස විනාඩි 5ක කාලයක් සාම්ප්‍රදායික සීනුව නාද කිරීම සිදු කිරීමට නියමිතව ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හිටපු ක්‍රීඩකයින්, පරිපාලකයින් සහ ක්‍රීඩාවෙන් ප්‍රසිද්ධියට පත්වූ පුද්ගලයින්ට මෙලෙස සාම්ප්‍රදායික ලෙස ටෙස්ට් තරගයක් ආරම්භයට පෙර සීනුව නාද කිරීමේ අවස්ථාව හිමි වේ. 
ලෝකයේ වඩාත් සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා ලෙසින් සැළකෙන රංගන හේරත් 1999 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගත් අතර 2018 වසරේ ටෙස්ට් පිටියට සමු දුන්නේය. කෙසේ වෙතත් එම කාල සීමාව තුළ රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 433කි. 
ඊට අමතරව එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 71කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ රංගන හේරත් එහිදී කඩුලු 74ක් බිඳහෙලා තිබේ. එපමණක් නොව විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග 17කදී කඩුලු 18ක් බිඳහෙලීමට ද හේරත්ට හැකිව තිබේ.