පැරා ඔලිම්පික් උලෙළ 2024

2024 පැරිස් පැරාලිම්පික් තරගාවලියේ සමාරම්භක උළෙල ප්‍රංශයේදී

International Athletics

11


2024 පැරිස් පැරාලිම්පික් තරගාවලියේ සමාරම්භක උලෙළ ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (29) අලුයම 2.30ට) පැවැත්විණි. ප්‍රංශයේ ඓතිහාසික ප්ලේස් ඩි ලා කොන්කෝඩ් නාගරික උද්‍යාන පරිශ්‍රයේදී පැරාලිම්පික් සමාරම්භක උළෙල පැවැත්වුණි . මෙහි වූ විශේෂත්වය නම් පැරාලිම්පික් ඉතිහාසයේ ක්‍රීඩාංගණයකින් පරිබාහිරව සමාරම්භක උළෙලක් පැවැත්වූ පළමු අවස්ථාව වීමයි. ප්ලේස් ඩී ලා කොන්කෝඩ් නගරය  මීට පෙර 1992 වසරේදී ශීත පැරාලිම්පික් උළෙලකට ප්‍රංශය සත්කාරකත්වය දක්වා තිබිණි. සමාරම්භක උළෙලේ කලා අධ්‍යක්ෂණය  තෝමස් ජොලීගේ මෙහෙය වීමෙන් සිදු වී තිබේ.

ප්‍රංශ සංස්කෘතිය විදහා පාන විවිධ නර්තනාංග, සංගීත දර්ශන ආදියෙන් පැරාලිම්පික් සමාරම්භය විචිත්‍රවත් විය. ප්‍රංශ ධජයේ වර්ණ සහිත මල් වෙඩි සැණකෙළිය කාගෙත් සිත් ගත්තේය. සමාරම්භක පෙළපාලිය නගරයේ ප්‍රධාන මාවත ඔස්සේ ගමන් කළේය. එහිදී පැරාලිම්පික් නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සමිත දුලාන් ශ්‍රී ලංකා ධජය සහිතව පෙරමුණෙහි ගමන් කළේය. චාල්ස් ඇන්ටොයින්, නැන්ටනින් කීටා, ෆෙබියන් ලැමිරෝල්ට්, ඇලෙක්සිස් හැන්ක්වින්ක්වාන්ට් සහ එලොඩ් ලොරැන්ඩ් මෙහිදී පැරාලිම්පික් ගිනි සිළුව දැල්වූහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 8 දෙනෙක් මෙවර පැරාලිම්පික් තරගාවලියට සහභාගී වෙති. ඒ අතර ශ්‍රී ලංකාව නියෝජනය කළ නවීඩ් රෂීන් එච් 9 කාණ්ඩයේ මීටර් 400 නිදහස්ආර පිහිනුම් ඉසව්වේ තරග වැදුණි. එහි මූලික වටයේ තරගයේදී ඔහුට පස්වැනි ස්ථානය හිමි විය. එහිදී නවීඩ්ට තරගය නිමා කිරීමට මිනිත්තු 4.42.71ක කාලයක් ගත වී තිබිණි. ඒ අනුව තරගයේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අත්හැර දමන්නට නවීඩ්ට සිදු විය. සුරේෂ් ධර්මසේන විවෘත ඒකල රෝද පුටු ටෙනිස් ඉසව්ට අද (30දා) සවස 3.30ට (ශ්‍රී ලංකා වෙලාව)  ක්‍රීඩා කිරීමට නියමිතය. ටී 47 කාණ්ඩයේ දුර පැනීම ඉසව්වෙන් ජනනි ධනංජනා හෙට (31දා) සවස 1.30ට (ශ්‍රී ලංකා වෙලාව) තරග වදිනු ඇත.