සිලෝන් මාස්ටර්ස් ක්‍රිකට් තරගාවලිය හෙට ඇරැඹෙයි.

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කරනු ලබන සිලෝන් වෙටරන්ස් ක්‍රිකට් ලීග් තරගාවලිය 2024

National Cricket

11

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කරනු ලබන සිලෝන් වෙටරන්ස් ක්‍රිකට් ලීග් තරගාවලිය හෙට (31දා) ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ. 

ඒ අනුව වයස අවුරුදු 50ට ඉහළ ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර තිබීම ද විශේෂත්වයකි. එහිදී තරගයක එක් ඉනිමක් සඳහා ඇතුළත් පන්දුවාර සංඛ්‍යාව 40කි. 

කෙසේ වෙතත් මෙම තරගාවලිය සඳහා කලම්බු මාස්ටර්ස්, වෙළෙඳසේවා, ජනසතු සේවා සහ රාජ්‍ය සේවා කණ්ඩායම් එක්වීමට නියමිතව තිබේ. මෙහිදී කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණය, රත්මලාන ජනසතු සේවා ක්‍රිකට් ක්‍රීඩාගංණය සහ මත්තෙගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මේ වන විට සැළසුම් කර තිබේ. එසේම අවසන් මහා තරගය ද පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ පී. සරාජ ඕවල් ක්‍රීඩාංගණයේදීය. 

එසේම මෙහි මූලික වටයේ තරග සැප්තැම්බර් මස 16 වැනිදා නිමාවට පත් වන අතර අවසන් මහා තරගය 22 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. 

එසේම ආරම්භයක් ලෙස වයස අවුරුදු 50න් ඉහළ තරගාවලියක් ලෙසින් ආරම්භ වූ මෙම තරගාවලිය ඉදිරියේ දී තවත් වයස් කාණ්ඩ කිහිපයක් යටතේ තරගාවලි පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද මේ සම්බන්ධයෙන් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.