දකුණු අප්‍රිකාවේදී ලැබූ ජය

දකුණු අප්‍රිකා සංචාරයේ පළමු එක්දින තරගයෙන් ලකුණු 93ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකාවට

International Cricket

77

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ පළමු එක්දින තරගයෙන් ලකුණු 93ක දැවැන්ත ජයක් හිමිකර ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරේදා (31දා) හැකි විය.

දකුණු අප්‍රිකාවේ ප්‍රොචෙස්ට්‍රෝම්හි සෙන්වෙස් පාක් ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේ පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 298කි. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 97ක් සහ කමිල් මිෂාර ලකුණු 71ක් ලබා ගත්තේය. ඊට අමතරව යොවුන් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ පන්දු 39කදී හතf ර්පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ත්‍රිස්ටන් ලූස් සහ ඇඩිලේ පෙලුක්වායෝ කඩුලු 3 බැගින් බිඳහෙලීය.
කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවන්ට පන්දුවාර 36.5කදී සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 205ක් පමණි. ඩෙවල්ඩ් බර්විස් ලකුණු 39ක්, ඊතන් බොෂ් නොදැවී ලකුණු 32ක් සහ ටෝනි ඩි සෝර්සි ලකුණු 53ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී වනුජ සහන් සහ දුෂාන් හේමන්ත කඩුලු 3 බැගින් දවා ගත්තේය. මොහොමඩ් ශිරාස්, චමිඳු වික්‍රමසිංහ සහ සොනාල් දිනූෂ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
ලකුණු සාරාංශ
ශ්‍රී ලංකා ‘ඒ’ - 298/9 (50) (නුවනිඳු ප්‍රනාන්දු 97, කමිල් මිෂාර 71, චමිඳු වික්‍රමසිංහ 55, සහන් ආරච්චිගේ 15, ත්‍රිස්ටන් ලූස් 72/3, ඇඩිලේ පෙලුක්වායෝ 38/3, ඊතන් බොෂ් 60/2)
දකුණු අප්‍රිකා ‘ඒ’ - 205 (ටෝනි ඩි සෝර්සි 53, ඩෙවල්ඩ් බර්විස් 39, ඊතන් බොෂ් නොදැවී 32, වනුජ සහන් 41/3, දුෂාන් හේමන්ත 34/3, මොහොමඩ් ශිරාස් 29/1, චමිඳු වික්‍රමසිංහ 12/1, සොනාල් දිනූෂ 18/1)