තෙවැනි ටෙස්ට් තරගයෙන් සිංහයින්ට පහසු ජයක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට අදාළව පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට ඊයේ (9දා) හැකියාව ලැබිණි.

International Cricket

78

 ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට අදාළව පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට ඊයේ (9දා) හැකියාව ලැබිණි. 

කෙසේ වෙතත් තරග 3කින් යුත් මෙම තරගාවලියේ පළමු තරග ද්විත්වය ජයගත් එංගලන්තය තරග 2-1ක් ලෙසින් තරගාවලිය ජය ගැනීම කැපී පෙනිණි. 

ඒ අනුව ඊයේ දිනය ආරම්භ වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලකට ලකුණු 94ක් ලබා සිටියේය. කෙසේ වෙතත් දිනයේ ශ්‍රී ලංකා ලකුණු 14ක් එක්වෙද් දී කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. කුසල්ට ලබා ගත හැකි වූයේ ලකුණු 39ක් පමණි. 

ඉන් අනතුරුව පැතුම්ට එක් වූ ඇන්ජිලෝ මැතිව්ස්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය. පැතුම් නිස්සංක තම ටෙස්ට් දිවියේ දෙවැනි ශතකය (නොදැවී ලකුණු 127) වාර්තා කළ අතර ඇන්ජිලෝ මැතිව්ස් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 32කි. කෙසේ වෙතත් පන්දු 124කදී වාර්තා වූ පැතුම්ගේ ඉනිම හතරේ පහර 13කින් සහ හයේ පහර 2කින් වර්ණවත් විය. 

එසේම මෙම හඹා යෑම ඉතිහාසයට එක්වූයේ ආසියානු කණ්ඩායමක් මෙම ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක හඹා ගොස් සපුරා ගත් විශාලතම ඉලක්කය ලෙසිනි. 

ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී'ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ඇරයුම් කළේය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 69.1කදී සියලු‍ දෙනා දැවී'ලකුණු 325ක් ලබා ගත්හ. එහිදී'එංගලන්තය වෙනුවෙන් බෙන් ඩකට් ලකුණු 86ක් සහ නායක ඔලී පෝප් ලකුණු 154ක් ලබා ගත්හ. මිලාන් රත්නායක කඩුලු‍ 3ක් දවා ගනිද්දී විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ ධනංජය ද සිල්වා අතර කඩුලු‍ 2 බැගින් බෙදී'ගියේය. 

කෙසේ වෙතත් පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 61.2කදී සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 263කි. එහි දී ද වගකීම් සහගත පිතිකරණයක නිරත වූ නායක ධනංජය ද සිල්වා ලකුණු 69ක් රැස්කළ අතර ධනංජයට අගනා සහයෝගයක් ලබා දුන් කමිඳු මෙන්ඩිස් ලකුණු 64ක් රැස්කර ගත්තේය. වේගවත් පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක පන්දු 51කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 64කි. 

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 62ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 34කදී සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 156ක් පමණි. එංගලන්ත දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජැමී ස්මිත් ලකුණු 67ක් ලබා ගත්තේය. ඩෑන් ලෝරන්ස් ලකුනු 35ක් ලබා ගත් අතර වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවට ලඟා වීමට නොහැකි විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ළහිරු කුමාර කඩුලු 4ක් දවා ගත් අතර විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් සහ මිලාන් රත්නායක එක් කඩුල්ලක් දවා ගනිමින් දස්කම් දැක්වීය. 

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමි වූ ඉළක්කය ලකුණු 219කි. 

ලකුණු සාරාංශය 

එංගලන්තය පළමු ඉනිම - 325 (69.1) - ඔලී පෝප් 154, බෙන් ඩකට් 86, මිලාන් රත්නායක 56/3, විශ්ව ප්‍රනාන්දු 46/2, ළහිරු කුමාර 97/2 

ශ්‍රී'ලංකාව පළමු ඉනිම - 263 (61.2) - ධනංජය ද සිල්වා 69, කමිඳු මෙන්ඩිස් 64, පැතුම් නිශ්ශංක 64, ජොස් හුල් 53/3, ඔලි ස්ටෝන් 35/3 

එංගලන්තය දෙවැනි ඉනිම - 156 (34) - ජැමී ස්මිත් 67, ඩෑන් ලෝරන්ස් 35, ඔලී ස්ටෝන්ස් 10, ළහිරු කුමාර 21/4, විශ්ව ප්‍රනාන්දු 40/3, අසිත ප්‍රනාන්දු 49/2, මිලාන් රත්නායක 43/1 

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම - 219/2 (40.3) - පැතුම් නිස්සංක නොදැවී 127, කුසල් මෙන්ඩිස් 39, ඇන්ජිලෝ මැතිව්ස් නොදැවී 32