පැතුම් ක්‍රිකට් වාර්තා පොතට

නිමා වූ ශ්‍රී ලංකා - එංගලන්ත තෙවැනි ටෙස්ට් තරගයේ දැක්වූ සුපිරි පිතිකරණය හේතුවෙන්

International Cricket

73
නිමා වූ ශ්‍රී ලංකා - එංගලන්ත තෙවැනි ටෙස්ට් තරගයේ දැක්වූ සුපිරි පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්ව තිබේ. 
ඒ අනුව ටෙස්ට් තරගයක සිවු වැනි ඉනිමේ ලකුණු හඹා යෑමක් සාර්ථක කර ගත් අවස්ථාවක ඉහළම ප්‍රහාරක වේගයක් රඳවා ගනිමින් ශතක රැස්කළ පිතිකරුවන් අතර සිවු වැනි තැනට පත් වීමට පැතුම්ට හැකිවී තිබේ. එම තරගයේ දෙවැනි ඉනිමේදී පැතුම් පන්දු 124කදී නොදැවී ලකුණු 127ක් රැස්කර ගත්තේ 102.41ක ප්‍රහාරක වේගයක් රඳවා ගනිමිනි. 
ඊට අමතරව ටෙස්ට් ඉතිහාසයේ ටෙස්ට් තරගයක ඉනිම දෙකෙහිදීම පන්දු 50ට අඩුවෙන් අර්ධ ශතක වාර්තා කළ ලොව 9 වැනි පිතිකරු ලෙසට ද මෙම තරගයේදී පැතුම් නිස්සංක වාර්තා අතරට එක්වීම කැපී පෙනිණි. 
කෙසේ වෙතත් තෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 219ක ඉලක්කයක් සපුරා ගත්තේ කඩුලු 2ක් පමණක් දැවී ගොස් තිබියදීය. එය ද වාර්තා අතරට එක් වූයේ එංගලන්තයේදී සිවු වැනි ඉනිමේ ආසියානු කණ්ඩායමක් තරගයක් ජයගැනීම සඳහා හඹා ගිය ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසිනි.