මට ක්‍රීඩකයින් විශ්වාසයි

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු ටෙස්ට් තරගය

International Cricket

71

 නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට (18දා) පෙරවරු 10.00ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත. 

ඒ අනුව මෙම තරගය ජයගැනීම සඳහා අවශ්‍ය සැළසුම් සකස් කර ඇති බවත් ක්‍රීඩකයින් එම සැළසුම් සාර්ථක කර ගනු ඇතැයි විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා වැඩ බලන ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය කියා සිටියේය. සනත් මේ බව පැවැසූයේ පළමු ටෙස්ට් තරගය ආරම්භයට පෙර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී තවදුරටත් මෙලෙස ද අදහස් දැක්වූ ශ්‍රී ලංකා වැඩ බලන ප්‍රධාන පුහුණුකරුවා ‘අපි සෑම පිතිකරුවෙකු සම්බන්ධයෙන්ම අධ්‍යයනය කරමින් සැළසුම් සකස් කරනවා. ඒ අනුවම කේන් විලියම්සන් ගැනත් බලනවා. අපේ වේගපන්දු යවන්නන් සහ දඟ පන්දු යවන්නන් සෑම කෙනාම ඒ ගැන සාකච්ඡා කරලා තිබෙනවා. අපේ තත්ත්වයන් තුළ අපගේ කණ්ඩායමේ ශක්තිය මොකක්ද යන්න අපි දන්නවා. එසේම නවසීලන්තය සමඟින් ගොඩක් ක්‍රීඩා කර තිබෙන නිසා අපි සැළසුම් අනුව වැඩ කරනවා. අපේ ක්‍රීඩකයින් සැළසුම් සාර්ථක කර ගනු ඇතැයි සිතනවා. මට ක්‍රීඩකයින් ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා. එංගලන්තයේදී වාගේම ගාල්ලේදීත් සැළසුම් අනුව ක්‍රීඩා කරාවි කියා.’ යනුවෙන් පැවැසීය. 

ඊට අමතරව කමිඳු මෙන්ඩිස් අංක 3 ස්ථානයේ පිතිකරණයේ යෙදෙන්නේද යනුවෙන් යොමු වූ පැනයට මෙලෙස පිළිතුරු ලබා දුන් සනත් ‘කමිඳු අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන්නේ නැහැ. ඔහු මැදපෙල පිතිකරුවෙකු ලෙසයි ක්‍රීඩා කරන්නේ.’ 

එසේම මෙම තරගයේ පන්දු යැවීමේ බළෑණිය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ සනත් කියා සිටියේ මෙවැන්නකි. ‘මෙහිදී කණ්ඩායම තෝරා ගැනීමේදී අපි ලොකු ප්‍රශ්නයකට මුහුණදුන්නා. මොකද කණ්ඩායමේ තුන්වැනි වේගපන්දු යවන්නා කියන්නේ අපේ හිටපු හොඳම වේගපන්දු යවන්නායි. ඔහු හොඳින් පන්දු යැවුවා වගේම හොඳින් පන්දුවට පහරදුන්නා. නමුත් කණ්ඩායම සමබර කිරීමේදී ගාල්ල ක්‍රීඩාංගණයේ හැටියට අපිට දඟ පන්දු යවන්නකු කණ්ඩායමේ සිටිය යුතුයි. නමුත් පළමු සංචාරයේදීම මිලාන් රත්නායක ක්‍රීඩා කළ ආකාරය ගැන අගය කළ යුතුයි. ඔහු පරිනත ක්‍රීඩකයකු ලෙස එහිදී ක්‍රීඩා කළා. නමුත් මෙම තරගයේදී අවාසනාවකට අවසන් 11 දෙනාට මිලාන් රත්නායක ඇතුළත් කරන්න හැකියාවක් නැහැ. කණ්ඩායම සමබර කිරීම වෙනුවෙන් එම තීරණය ගත යුතු වුණා’. 

ශ්‍රී ලංකාව මෙම තරගාවලිට පිවිසෙන්නේ එංගලන්තය සමඟින් පැවැති අභියෝගාත්මක ටෙස්ට් තරගාවලියෙන් තරග 2-1ක පරාජයක් අත් විඳීමෙන් පසුවය. එසේ වුවත් ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේ ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් විය. ඒ අනුව දඟ පන්දු යවන්නන්ට වඩාත් උචිත ගාල්ල තණතීරුවේදී නවසීලන්ත කණ්ඩායමට ප්‍රභල අභියෝගයක් ශ්‍රී ලංකාවෙන් එල්ල වනු නොඅනුමානය. 

නවසීලන්තය අවසන් වරට ටෙස්ට් තරගයකට එක්වූයේ පසුගියදා ඉන්දියාවේදී ඇෆ්ගනිස්තානය සමඟින් පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගයයි. එසේ වුවත් වර්ෂාව හේතුවෙන් අදාළ තරගය අතහැර දැමීමට සිදු විය. 

යම් හෙයකින් මෙම ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙසින් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණහොත් ලෝක ශූරතා ටෙස්ට් ප්‍රසාද ලකුණු සටහනේ 3 වැනි ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇත. මේ වන විට ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයේ පසුවන අතර නවසීලන්තය තෙවැනි ස්ථානයේ පසුවෙයි. 

මේ අතර මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නම් කර තිබූ අතර ඊට දකුණත් පිතිකරු ඕෂධ ප්‍රනාන්දු එක් කිරීමට පියවර ගෙන තිබිණි. 

කෙසේ වෙතත් මෙම තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමේ වගකීම පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරනට හිමිවනු ඇති බව පැවැසේ. නිමා වූ එංගලන්ත තරග සංචාරයේදී පැතුම් නිස්සංක පිත්තෙන් සාර්ථකත්වයට පත්වීම ඊට හේතුවයි. ඊට අමතරව දිනේෂ් චන්දිමාල් අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසෙනු ඇත. කමිඳු මෙන්ඩිස් අංක 5 පිතිකරු ලෙස උසස්වීමක් ලබා තිබේ. 

ඒ අනුව කුසල් මෙන්ඩිස් කඩුලු රැකීමේ වගකීම දැරීම නිසා ඔහු අංක 7 පිතිකරු ලෙස කටයුතු කරනු ඇති බවද සඳහන්ය. 

එසේම එංගලන්ත තරග සංචාරයේදී පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ වේගපන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක මෙම සංචිතයට ද එක් කර තිබේ. එසේ වුවත් දඟ පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය ගාල්ල තණතීරුවේදී රමේෂ් මෙන්ඩිස්ට කණ්ඩායමේ අවස්ථාවක් හිමිවනු ඇති බව ද සඳහන්ය. ඊට අමතරව වේගපන්දුවේ වගකීම අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාරට පැවරෙනු ඇත. 

කෙසේ වෙතත් ඕෂධ ප්‍රනාන්දුට සහ කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රමට අතිරේක ක්‍රීඩකයින් ලෙසින් සංචිතයේ රැඳී සිටීමට සිදුවීමේ වැඩි ඉඩක් තිබේ. 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (18දා) සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරගය පැවැත්වෙන්නේ මෙම මස 26 වැනිදා සිට 30 වැනිදා දක්වාය. මෙම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම් කර තිබීම ද විශේෂත්වයකි. 

මේ දක්වා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 38කි. එහිදී ටෙස්ට් තරග 18ක ජය නවසීලන්තය හිමිකරගනිද්දී ශ්‍රී ලංකාවට තරග 9ක ජය හිමිවී තිබේ. තරග 11ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් වී ඇත.