කාන්තා ලෝක ශූරියන්ට ඩොලර් මිලියන 2.34ක්

විස්සයි-20 ලෝක කුසලානයේදී පිරිණැමීමට නියමිත ත්‍යාග මුදල්

Womens Cricket

55


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇති කාන්තා විස්සයි-20 ලෝක කුසලානයේදී පිරිණැමීමට නියමිත ත්‍යාග මුදල් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබිණි. 

ඒ අනුව මෙවර කාන්තා ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරියන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.34ක දැවැන්ත ත්‍යාගයක් පිරිණැමීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. ඊට අමතරව අනු ශූරියන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.17 ක මුදල් ත්‍යාගයක් පිරිණැමීමට නියමිතය. මෙවර ශූරියන්ට පිරිණැමෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 2.34ක මුදල, 2023 වසරේ පැවැති කාන්තා ලෝක කුසලානයේ ශූරියන් වූ ඕස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායමට පිරිණැමුනු මුදල් ත්‍යාගය මෙන් සියයට 134ක වර්ධනයකි. එනම් 2023 වසරේදී ලෝක ශූරියන්ට පිරිණමා තිබුණේ ඇමෙරිකන් ඩොලර් මිලියනයකි. එසේම 2023 වසරේ අනුශූරියන් වූ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට පිරිණමා තිබුණේ ඇමෙරිකන් ඩොලර් 500,000ක මුදලකි. 

එපමණක් නොව අවසන් පූර්ව තරග පරාජයට පත් වන කණ්ඩායම් සඳහා ඇමෙරිකන් ඩොලර් 675,000ක මුදලක් පිරිණැමීමට සැළසුම් කර තිබීමද විශේෂත්වයකි. 

ඊට අමතරව මෙවර කාන්තා විස්සයි-20 ලෝක කුසලානයේදී බෙදා දීමට සැළසුම් කර ඇති සම්පූර්ණ ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් 7,958,080කි. එය 2023 වසරේ පැවැති කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ බෙදා දුන් මුදල් ත්‍යාගයන්ට වඩා සියයට 225ක වර්ධනයකි.