ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේදී කමිඳුගෙන් ලෝක වාර්තාවක්

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේදී

International Cricket

134

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ  අද (18දා) තරගය නතර කරන අවස්ථාව වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 7කට ලකුණු 302ක් ලබා ශක්තිමත් ස්ථානයක පසුවිය.  

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමුව ලකුණු රැස්කිරීමට තීරණය කළේය. ඒ අනුව පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක සම්බන්ධතාවය ලකුණු 20කට සීමා කිරීම නවසීලන්ත පන්දු යවන්නන්ට හැකියාව ලැබිණි. එහිදී විලියම් ඕ‘රොව්කි යොමු කළ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක ටොම් බ්ලන්ඩල් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දිමුත් කරුණාරත්න ලකුණු 2කට පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. 

ඉන් අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ ඕ‘රොව්කි පන්දු 25කදී ලකුණු 27ක් රැස්කළ පැතුම් නිස්සංක දෙවැනි කඩුල්ල ලෙස ක්‍රීඩා ගාරය බලා හරවා යැවීය. 

කෙසේ වෙතත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක් එක් කිරීමට දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජිලෝ මැතිව්ස්ට හැකි විය. එහි දී දකුණතේ දබර ඇඟිල්ලේ පන්දුවක් වැදීම හේතුවෙන් දිවා ආහාරයට පෙර තාවකාලිකව ක්‍රීඩා ගාරය වෙත පියනැඟීමට මැතිව්ස්ට සිදු විය. 

දිවා ආහාරයෙන් අනතුරුව යැවූ තෙවැනි පන්දුවේදීම ලකුණු 30ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල්, ශ්‍රී ලංකා ඉනිමේ සිවු වැනි කඩුල්ල ලෙස දවා ගැනීමට ටිම් සවුතිට හැකි විය. නායක ධනංජය ද සිල්වාට ද ලබා ගත හැකි වූයේ ලකුණු 11ක් පමණි. ග්ලේන් පිලිප්ස් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ ගැටීම නිසා ධනංජය පිටියෙන් ඉවත් විය. 

ඉන් අනතුරුව නැවතත් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ඇන්ජිලෝ මැතිසව්ස්, ඉනිමේ 4 වැනි කඩුල්ල වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් සමඟින් එක්ව ලකුණු 72ක් එක් කළේය. 

මේ අතර තම ටෙස්ට් දිවියේ 5 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කර ගැනීමට කමිඳු මෙන්ඩිස්ට හැකි විය. එසේම තම මංගල ටෙස්ට් තරගයේ සිට තරග 7කදී ලකුණු 50 සීමාව ඉක්මවා යමින් එම දස්කම සිදු කළ ලොව දෙවැනි පිතිකරු බවට පත්වීමට කමිඳු මෙන්ඩිස්ට හැකියාව ලැබිණි. ඔහුට පෙර පාකිස්තානයේ සවුද් ශකීල් තම මුල් ටෙස්ට් තරග 7හිම ලකුණු 50 ඉක්මවමින් ලෝක වාර්තාවක් පිහිටුවීය. 

5 වැනි කඩුල්ල ලෙසින් දැවී ගිය ඇන්ජිලෝ මැතිව්ස්ට ලබා ගත හැකි වූයේ ලකුණු 36ක් පමණි. 

මැතිව්ස්ගේ දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකාව පීඩනයකට නතු වූ අවස්ථාවේදී කමිඳුට එක්වූ කුසල් මෙන්ඩිස්, ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් තීරණාත්මක ලකුණු 103ක් එක් කිරීම කැපී පෙනිණි. කුසල් මෙන්ඩිස් කළකට පසුව සාර්ථක වෙමින් සිය ටෙස්ට් දිවියේ 19 වැනි අර්ධ ශතකය වාර්තා කළ ද ලකුණු 50කට 6 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් විය. දිනයේ අවසන් කඩුල්ල ලෙස දැවී ගිය කමිඳු මෙන්ඩිස් ලකුණු 114ක් රැස්කළ අතර එය කමිඳුගේ ටෙස්ට් දිවියේ සිවු වැනි ශතකයයි. පන්දු 173ක දී වාර්තා වූ කමිඳුගේ එම මනරම් ඉනිමට හතරේ පහර 11ක් ඇතුළත් විය. 

කෙසේ වෙතත් දිනය නිමා වන අවස්ථාව වන විට රමේෂ් මෙන්ඩිස් ලකුණු 14ක් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු නොලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටියේය. 

නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී විලියම් ඕ‘රොව්කි කඩුලු 3ක් දවා ගත් අතර ග්ලේන් පිලිප්ස් කඩුලු 2ක් බිඳහෙලීය. 

ලකුණු සාරාංශය 

ශ්‍රී ලංකා පළමු ඉනිම - 302/7 (88) - පැතුම් නිස්සංක 27, දිමුත් කරුණාරත්න 2, දිනේෂ් චන්දිමාල් 30, ඇන්ජිලෝ මැතිසව්ස් 36, කමිඳු මෙන්ඩිස් 114, ධනංජය ද සිල්වා 11, කුසල් මෙන්ඩිස් 50, රමේෂ් මෙන්ඩිස් නොදැවී 14, විලියම් ඕ’රොව්කි 54/3, ටිම් සවුති 48/1, ග්ලේන් පිලිප්ස් 52/2, අජාස් පටෙල් 58/1.