ශ්‍රී ලංකා පිල කැරම් ලෝක කුසලානයට

06 වන ලෝක කුසලාන කැරම් තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියහ.

Other Sports

64

මෙවර ලෝක කුසලාන කැරම් තරගාවලිය හෙට සිට එළැඹෙන 17 වැනිදා දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව ඇත. මෙවර ලෝක කුසලානය සඳහා එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 20කි.

මෙවර ලෝක කුසලාන කැරම් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම විවෘත කේවල, විවෘත යුගළ, කණ්ඩායම් සහ ස්විස් ලීග් යන සියලුම ඉසව් සඳහා එක්වීමට නියමිතව තිබීම ද විශේෂත්වයකි. 2024 කැරම් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකත්වය ජාතික ශූර ශහීඩ් හිල්මිට හිමිවී ඇති අතර කාන්තා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ජෝෂප් රොෂිටා වෙතයි.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම, අවසන් වරට 2018 වසරේ දකුණු කොරියාවේදී පැවැති කැරම් ලෝක කුසලානයේ දී ශූරතාව හිමිකර ගත් අතර කාන්තා කණ්ඩායමට අනු ශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු විය. එනම් 2018 වසරේ පැවැති ලෝක කුසලානයේ පිරිමි අංශයේ අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම 2-1ක් ලෙසින් පරාජයට පත් කරමින් ලෝක ශූරතාවට හිමිකම් කීවේය. 2018 වසරේ පැවැති කැරම් ලෝක කුසලානය සඳහා එක්වී තිබුණේ කණ්ඩායම් 16කි. එහිදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඉතාලිය, ස්විට්සර්ලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, එක්සත් රාජධානිය, ජපානය, පෝලන්තය සහ මලයාසියානු කණ්ඩායම් පරාජයට පත් කරමින් ලෝක ශූරතාව හිමිකරගෙන තිබිණි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට මෙවර ලෝක කුසලානයට එක්වීම අවිනිෂ්චිත තත්ත්වයක් උද්ගත වී ඇති බවත් අවස්ථා ගණනාවකදී අප බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත්තෙමු. ඒ අනුව අදාළ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ අවධානය යොමු වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඊට එක්වීමේ අවස්ථාව උදාවී තිබිණි.
එනම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් මෙම තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය මූල්‍ය අනුග්‍රහයක් ලබා දීමට කටයුතු කර තිබිණි. එහි දී ලෝක කුසලාන කැරම් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා රුපියල් මිලියන 5ක මූල්‍යමය අනුග්‍රහය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී තිබීම කැපී පෙනෙන සිදුවීමකි.
ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම - අනාස් අහමඩ්, නිෂාන්ත ප්‍රනාන්දු, කවීන් නිම්නෙත්, ශහීඩ් හිල්මි, රනිල් අබේසිංහ (කළමණාකරු), තස්මිලා කාවින්දි, ජෝෂප් රොෂිටා, තරුෂි හිමන්සිකා, හිරුෂි මල්ෂානි.