නවසීලන්ත කණ්ඩායම සමඟින් පැවැති තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගය ජය ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් කණ්ඩායමක් ලෙස සතුටට පත්වන බව ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු පැවැසීය. තෙවැනි විස්සයි-20 තරගය නිමා වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව අමතමින් බිනුර මෙලෙස අදහස් දැක්වීය.
එහිදී වැඩිදුරටත් මෙලෙස ද අදහස් දැක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නා කියා සිටියේ මෙවැන්නකි. ‘අපිට දැඩි ලෙස ජයග්‍රහණයක් අවශ්‍යව තිබුණා. කෙසේ වෙතත් අවසන් තරගය ජයගෙන විස්සයි-20 තරගාවලිය ජයග්‍රහණයකින් නිමා කළ හැකි වීම ගැන සතුටුයි. මෙම තරගයේදී නවසීලන්තයත් ඉතාමත් ඉහළ තත්ත්වයකින් ක්‍රීඩා කළා. කෙසේ වෙතත් නවසීලන්තය මෙවැනි තත්ත්වයකින් පාළනය කර ගැනීමට හැකි වීම ගැන සතුටු වෙනවා. ඊට අමතරව කණ්ඩායමක් ලෙස අවසානයේදී ජයග්‍රහණය ලඟා කර ගැනීමට හැකි වීම ගැනත් සතුටට පත් වෙනවා.’
ශ්‍රී ලංකා-නවසීලන්ත විස්සයි-20 තරගාවලිය තියුණු මුහුණුවරක් ගැනීමත් පළමු තරගයේ ජයග්‍රහණය අහිමි වීමත් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේදී යොමු වූ පැනයකට මෙලෙස පිළිතුරු සැපැයී ‘මෙම තරගාවලියේදී කණ්ඩායම් දෙකම ඉතාමත් සමබර තත්ත්වයෙන් යුතුවූ බව පැවැසිය හැකියි. පළමු තරගයේ සිටම අපි ඉතා ආසන්නයට ලඟා වුවත් ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි වුණා. ඉන් අනතුරුව අපි කණ්ඩායමක් ලෙසින් වඩාත් අවධානය යොමු කරමින් පුහුණු වීම් සිදු කළා. ඒ අනුව අවසන් තරගය ජයගැනීමට හැකි වීම ගැන සතුටට පත් වෙනවා. එසේම මෙම ජයග්රහණයෙන් ලබා ගත් රිද්මය එක්දින තරාවලියටත් ගෙනයෑමට හැකි වේ යැයි සිතනවා.’ යනුවෙන් පැවැසීය.
නවසීලන්ත තණතීරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් බිනුර කියා සිටියේ මෙවැන්නකි. ‘නවසීලන්ත තණතීරු වේග පන්දු යවන්නන්ට ඉතා හිතකරයි. එහි වේගය සහ විශාල ඉපිළීමක් සහිතයි. එසේම තණතීරු වල මීට වඩා තණකොල සහ ඉපිළීමක් තිබේවි යැයි අපි බලාපොරොත්තු වුණා. නමුත් මෙවැනි අවස්ථා වලදී අපේ දක්ෂතා විශ්වාස කරමින් නිවැරදි එල්ලයන් තුළ පන්දු යැවීම සිදු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලඟා කර ගත හැකියි.’
එසේම කුසල් ජනිත් ලබා ගත් විස්සයි-20 ශතකය පිළිබඳව ද මෙහි දී අදහස් දැක්වූ බිනුර මෙසේ පැවැසීය. ‘මාගේ මතකය නිවැරදි නම් වසර 13කට හෝ 14කට පසුවයි ශ්‍රී ලංකා පිතිකරුවෙකු විස්සයි-20 ශතයක් රැස්කර ගත්තේ. එය අති විශිෂ්ට ඉනිමක්. එසේම කුසල් ජනිත් පෙරේරා සෑම අවස්ථාවකම මනරම් පිතිකරුවෙක්. එසේම ඔහු රිද්මයේ සිටින විට කිසිවෙකුටත් ඔහුව නවතාලිය නොහැකියි. එසේම 2025 වසර පුරා තිබෙන සියලු විස්සයි-20 තරග වලදී ඔහු මෙම රිද්මය පවත්වා ගනු ඇතැයි මම විශ්වාස කරනවා.’