ලංකාවට දරුණු පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය වෙනුවෙන් පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 9ක දැවැන්ත පරාජයක්

International Cricket

50

වගකීම් විරහිත දුර්වල පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය වෙනුවෙන් පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 9ක දැවැන්ත පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද  (5දා) සිදු විය.

වෙලිංටන්හි බේසින් රිසව් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයා පළමුව ලකුණු රැස්කිරීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 15ක් ලෙසින් සටහන් වෙද්දී පැතුම් නිස්සංක ලකුණු 9කට පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. කුසල් මෙන්ඩිස්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 2ක් පමණි. ලකුණු 3ක් රැස්කරගෙන සිටි කමිඳු මෙන්ඩිස් දුවද්දී දැවී යෑමකට හසු වූ අතර නායක චරිත් අසලංක ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීම නවසීලන්ත පන්දු යවන්නන්ට හැකි විය. ඒ අනුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 23ක් වෙද්දී මුල්පෙල පිතිකරුවන් සිවු දෙනාම ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත්ව තිබිණි.
කෙසේ වෙතත් 5 වැනි කඩුල්ලට එක්වූ ජනිත් ලියනගේ සහ අවිෂ්ක ප්‍රනාන්දු ඊට ලකුණු 87ක් රැස් කළේ ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් එක් කරමිනි. එසේ වුවත් අනවශ්‍ය කළබලකාරී බවට තම කඩුල්ලෙන් වන් දි ගෙවූ ජනිත්, ලකුණු 36කට ඉනිමේ 5 වැනි කඩුල්ල බවට පත් විය. එවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 110ක් ලෙසින් දැක්විණි.
එම දැවී යෑමෙන් අනතුරුව අවිෂ්ක ප්‍රනාන්දු ද ලකුණු 56කට දැවී ගිය අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක් එක් කිරීමට චමිඳු වික්‍රමසිංහ සහ වනිඳු හසරංග දැඩි වෙහෙසක් දැරීය. චමිඳු ලකුණු 22කට දැවී යද්දී වනිඳු හසරංග ලකුණු 35කට දැවී ගියේය. මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් හිමිකර ගත් ඒෂාන් මාලිංග ලකුණු 4කට දැවී ගියේය.
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 43කදී ලකුණු 178කට සීමා විය.
ශ්‍රී ලංකාවෙන් හිමි වූ පහසු ඉලක්කය හඹා යෑම වෙනුවෙන් පිටියට පිවිසි නවසීලන්ත ආරම්භක පිතිකරුවන් යුගළය පළමු කඩුල්ලට ලකුණු 93ක් එක් කිරීම කැපී පෙනිණි. ඒ අනුව පළමු කඩුල්ල බවට පත් වූ රචින් රවින්ද්‍රා ලකුණු 45කට දැවී ගියේය. එසේ වුවත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුනු ලකුණු 87ක සම්බන්ධතාවක් ගොඩනගමින් විල් යංග් සහ මාක් චැප්මන් නවසීලන්තය ජයග්‍රහණය වෙත රැගෙන ගියහ. විල් යංග් නොදැවී ලකුණු 90ක් රැස්කළ අතර මාක් චැප්මන් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 29කි. ඒ අනුව පන්දුවාර 26.2ක් පමණක් වැය කරමින් එක් කඩුල්ලකට ලකුණු 180ක් ලබා නවසීලන්තය මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගත් අතර තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට ද ඔවුන්ට හැකි විය.
ලකුණු සාරාංශය
ශ්‍රී ලංකා ඉනිම - 178 (43.4) (අවිෂ්ක ප්‍රනාන්දු 56, ජනිත් ලියනගේ 36, වනිඳු හසරංග 35, චමිඳු වික්‍රමසිංහ 22, මැට් හෙන්රි 19/4, ජේකොබ් ඩෆී 39/2, නාදන් ස්මිත් 43/2, මිචෙල් සැන්ට්නර් 27/1)
නවසීලන්ත ඉනිම - 180/1 (විල් යංග් නොදැවී 90, රචින් රවින්ද්‍රා 45, මාක් චැප්මන් නොදැවී 29, චමිඳු වික්‍රමසිංහ 28/1)