ශ්රී ලංකා රග්බි ආයතනය මගින් සංවිධානය කරනු ලබන අන්තර් ක්රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සති අන්තයේ තරග අද (10දා) ආරම්භ වේ.
ඒ අනුව පස්වැනි සතියේ පිළිමළුන් පිටු දැකීමේ තරග වටයේ නාවික හමුදාව සහ පොලිස් ක්රීඩා සමාජය අතර තරගය අද පස්වරු 4.00ට වැලිසර නාවික හමුදා ක්රීඩාංගණයේදී පැවැත්වේ. ඉන් අනතුරුව හෙට (11දා) පස්වරු 4.00ට සී.එච්. සහ යුද හමුදා කණ්ඩායම් අතර තරගය කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතව ඇති අතර හෙට පස්වරු 6.30ට හැව්ලොක්ස් සහ ශ්රී ලයන්ස් අතර තරගය හැව්ලොක්ස් ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
පස්වැනි සති අන්තයේ අවසන් තරගය ලෙස අනිද්දා (12දා) ගුවන් හමුදා කණ්ඩායම සහ සී.ආර්. කණ්ඩායම අතර තරගය පස්වරු 4.00ට පැවැත්වෙන්නේ ගුවන් හමුදා ක්රීඩාංගණයේදීය.
මේ අතර මෙතෙක් පැවැති තරග අවසානයේ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්රභල මහනුවර කණ්ඩායම සමත් වී ඇති අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ සී.ආර්. කණ්ඩායමයි. හැව්ලොක්ස් ක්රීඩා සමාජය ප්රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවෙද් දී සිවු වැනි ස්ථානය ගුවන් හමුදා කණ්ඩායමට හිමි වී ඇත.
යුද හමුදා ක්රීඩා සමාජය පස්වැනි ස්ථානයේ පසුවෙද්දී සී.එච්. කණ්ඩාඉම හය වැනි ස්ථානය දක්වා පසුබැස ඇත. ශ්රී ලයන්ස් කණ්ඩායම ප්රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානය හිමිකරගෙන ඇත. පොලිස් ක්රීඩා සමාජය 8 වැනි ස්ථානයටත් නාවික හමුදා කණ්ඩායම 9 වැනි ස්ථානයටත් පත්වී තිබේ.