පලමු වරට පැවැත්වෙන ශාරීරික අභියෝග සහිත වූවන්ගේ ශූරයින්ගේ කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ඉරිදා (12දා) සිට කටුණායක නිදහස් වෙළෙඳ කළාපීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව සමාරම්භක තරගයේදී ශ්‍රී ලංකාව එංගලන්ත කණ්ඩායම සමඟින් තරග වැදීමට නියමිතව ඇති අතර එම තරගය අනිද්දා පෙරවරු 10.00ට ආරම්භ වනු ඇත. ඉන් අනතුරුව 13 වැනිදා ශ්‍රී ලංකාව පාකිස්තානයට මුහුණදෙන අතර 15 වැනිදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය පැවැත්වීමට නියහමිතව ඇත. මූලික වටයේදී ශ්‍රී ලංකාව මුහුණදෙන මීලඟ තරගය 16 වැනිදා එංගලන්ත කණ්ඩායම සමඟින් පැවැත්වෙද්දී පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගය 18 වැනිදාත්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය 19 වැනිදාත් පැවැත්වීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය ජනවාරි මස 21 වැනිදා පස්වරු 1.00ට කටුණායක නිදහස් වෙළෙඳ කලාපීය ක්රිඩාංගණයේදීම පැවැත්වෙනු ඇත.
මේ අතර මෙම තරගාවලියට එක්වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය පසුගියදා ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබිණි. සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ රෙජිනෝල්ඩ් උඩුගමටයි. උප නායකයා ලෙසින් දුලාන් ප්‍රියශාන්ත කටයුතු කිරීමට නියමිතව ඇත.
එසේම ජාත්‍යන්තර තළයේ පැරා ක්‍රීඩා තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. ඊට අමතරව මෙම තරගාවලියේ සියලු තරග සජීව ලෙසින් විකාශය කිරීමට සැළසුම් කර තිබීම ද විශේෂත්වයකි.
කෙසේ වෙතත් මෙම තරගාවලිය වෙනුවෙන් මෙතෙක් කිසිදු දේශීය අනුග්රාහකයකු ශ්‍රී ලංකා ශාරීරික අභියෝග සහිත වූවන්ගේ ක්‍රිකට් සංගමය සමඟින් අත්වැල් බැඳගෙන නොබීම කණගාටුවට කරුණකි. එසේම මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කටයුතු සහ තරගාවලියේ සංවිධාන කටයුතු වෙනුවෙන් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ලබා දුන් මුදල් පමණක් මත යැපීමට එම සංගමයට සිදුව තිබේ.
ශ්‍රී ලංකා සංචිතය - රෙජිනෝල්ඩ් උඩුගම (නායක), දුලාන් ප්‍රියශාන්ත (උප නායක), ධනුෂ්ක වීරක්කොඩි, උදය කුමාර, ඉසුරු ප්‍රනාන්දු, තරිඳු තිවන්ක, චනුක දිල්ෂාන්, සුරේෂ් ප්‍රියන්කර, සුජිත් මොරගල, ගයාන් ගුණරත්න, නදීෂාන් සගදීසන්, විරාජ් ශ්‍රියාන්, ලක්ෂිත විකුම්, ප්‍රදීප් සංජය, සුපුන් කුමාර.