ශ්‍රී ලංකා - ඕස්ටේ්‍රලියා පළමු එක්දින සටන හෙට

චරිත් අසංලකගේ නායකත්වය සමගින් ශ්‍රී ලංකා පිල පිටියට

International Cricket

12

සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 2කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (12දා) පෙරවරු 10.00 සිට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. 

ඉදිරියේදී ආරම්භ වීමට නියමිතව ඇති ශූරයින්ගේ කුසලානයට පෙර ඕස්ටේ්‍රලියානුවන් මුහුණ දෙන අවසන් එක්දින තරග දෙක ද මෙයයි. ඒ අනුව ශූරයින්ගේ කුසලානයේ ඕස්ටේ්‍රලියානුවන්ගේ අවසන් පෙර පුහුණුව ලෙස මෙය සළකනවාට සැක නැත. කෙසේ වෙතත් ඕස්ටේ්‍රලියාව මෙම තරගාවලියට පිවිසෙන්නේ ශ්‍රී ලංකාව සමඟින් පැවැති ටෙස්ට් තරග ද්විත්වයම ජයගනිමිනි. එම නිසා එක්දින තරගාවලිය ද ජයගෙන ජයග්‍රාහීව ශූරයින්ගේ කුසලානයට පිවිසීම ඔවුන්ගේ බලාපොරොත්තුව වනු ඇත. 

ශ්‍රී ලංකාව මේ වන විට තම මව්බිමේ පැවැති අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 10ක් ජයගෙන තිබේ. එනම් අවසන් ද්වීපාර්ශවීය එක්දින තරගාවලි 6 තුළ ශ්‍රී ලංකාව මෙම දස්කම දක්වා තිබීම විශේෂත්වයකි. ඊට අමතරව 2024 වසර තුළ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ ශ්‍රී ලංකාව එක්වූ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 6න් 4ක් ජයගැනීමට සමත් වී තිබීම ද කැපී පෙනෙන සිදුවීමකි. 

ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා පිවිසෙන්නේ නවසීලන්තය සමගින් පැවැති එක්දින තරගාවලියෙන් තරග 2-1ක පරාජයක් අත්විඳීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය. ඒ අනුව අද පැවැත්වෙන තරගයේදී ද සුපුරුදු පරිදි පැතුම් නිස්සංක සහ අවිෂ්ක ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරනු ඇත. කුසල් මෙන්ඩිස් අංක 3 පිතිකරු ලෙසින් පිටියටපිවිසෙනු ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරුවන් තිදෙනාගෙන් කෙනෙකු විශාල ඉනිමක් ගොඩනැගුවහොත් මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට සුභවාදී ප්‍රතිඵලයක් ලඟා කර ගැනීමට එය හේතු වනු නොඅනුමානය. සුපුරුදු පරිදි මැදපෙල වගකීම කමිඳු මෙන්ඩිස්, නායක චරිත් අසලංක සහ ජනිත් ලියනගේට පැවරේ. 

පන්දු යැවීමේදී දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර වඩාත් අවධානයක් දිනා ගැනීම නොවැළැක්විය හැකිය. වනිඳුගේ සාර්ථකත්වය ප්‍රේමදාස තණතීරුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සාර්ථකත්වයට තීරණාත්මක සාධකය විය හැකිය. ඒ අනුව වනිඳුට අමතරව මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ඒෂාන් මාලිංග සහ අසිත ප්‍රනාන්දු මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම් පන්දු යැවීමේ බලෑණිය ලෙසින් කටයුතු කරනු ඇත. 

මේ අතර ඕස්ටේ්‍රලියාව සමඟින් පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය මගින් පෙරේදා (10දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබිණි. එහිදී නිමා වූ නවසීලන්ත සංචාරය සඳහා එක්වූ ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ පමණක් මෙම සංචිතයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි. 

ශ්‍රී ලංකා එක්දින සංචිතය - චරිත් අසංලක (නායක), පැතුම් නිස්සංක, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිෂාන් මධුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සේ, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, මොහොමඩ් ශිරාස්, ඒෂාන් මාලිංග