පළමු එක්දින තරගයෙන් ලංකාවට පහසු ජයක්

නායකත්වය වගකීම් නිසි ලෙස ඉටු කල චරිත්

International Cricket

60

චරිත් අසලංකගේ තුන් ඉරියව් දස්කම් හමුවේ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 49ක පහසු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (12දා) හැකියාව ලැබිණි.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව ලකුණු රැස්කිරීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 4ක් ලෙසින් සටහන් වෙද්දී පැතුම් නිස්සංක ලකුණු 4කට පළමු කඩුල්ල ලෙසින් දැවී ගිය අතර ලකුණු පුවරුවට තවත් ලකුණු 2ක් එක් වෙද්දී එක් ලකුණක් රැස්කරගෙන සිටි අවිෂ්ක ප්‍රනාන්දු ද දෙවැනි කඩුල්ල බවට පත් විය. 

ලකුණු 19ක් රැස්කරගෙන සිටි කුසල් මෙන්ඩිස් ද ස්ලිප් ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් ලබා දෙමින් තෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගියේය. කමිඳු මෙන්ඩිස්ට ද ලබා ගත හැකි වූයේ ලකුණු 5ක් පමණි. ජනිත් ලියනගේ ලකුණු 11ක් ලබා සිටියදී ශෝන් ඇබොට්ගේ පන්දුවක් හමුවේ ස්මිත් අතට උඩපන්දුවක් ලබා දෙමින් 5 වැනි කඩුල්ල බවට පත් විය. ඒ අනුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 55ක් ලෙස සටහන් වෙද්දී මුල්පෙල පිතිකරුවන් 5 දෙනාම ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත්ව තිබිණි. 

කෙසේ වෙතත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් නායක අසලංක සමඟින් එක්වූ දුනිත් වෙල්ලාලගේ, ඊට ලකුණු 67ක් එක් කිරීම කැපී පෙනිණි. ස්ටීවන් ස්මිත් ස්ලිප්හි සිට රැකගත් සුපිරි උඩපන්දුවක් හේතුවෙන් වෙල්ලාලගේ ලකුණු 30කට දැවී ගියේ 6 වැනි කඩුල්ල ලෙසිනි. සුපුරුදු පරිදි වනිඳු හසරංගට රැස්කරගත හැකි වූයේ ලකුණු 7ක් පමණි. තීක්ෂණ ලකුණු 2ක් ලබා සිටියදී 8 වැනි කඩුල්ල ලෙසින් දැවී ගියේය. 

නායකත්වයේ වගකීම මැනෙවින් ඉටු කළ කළ චරිත් අසලංක තම එක්දින දිවියේ සිවුවැනි ශතකය රැස්කර ගත්තේය. පන්දු 1326කදී වාර්තා වූ අසලංකගේ ලකුණු 127ක සුවිශේෂී ඉනිම හතරේ පහර 14කින් සහ දැවැන්ත හයේ පහර 5කින් වර්ණවත් විය. 

මෙහිදී කඩා වැටුනු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීම වෙනුවෙන් නායක අසලංකට විශිෂ්ට සහයෝගයක් දැක්වූ අංක 9 පිතිකරු ඒෂාන් මාලිංග නොදැවී එක් ලකුණක් ලබා ගත්තේය. එහිදී අසලංකට එක්වූ මාලිංග ශ්‍රී ලංකා ඉනිමේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78කදී ලකුණු 79ක සම්බන්ධතාවයක් ගොඩනැගීම කැපී පෙනිණි. 

කෙසේ වෙතත් අවසන් පිතිකරු ලෙසින් පිටියට පිවිසි අසිත ප්‍රනාන්දු ලකුණු නොලබා දැවී ගිය අතර ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 46කදී ලකුණු 214කට සීමා විය. 

ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී ශෝන් ඇබොට් කඩුලු 3ක් දවා ගත් අතර ස්පෙන්සර් ජෝන්ස්, ඇරොන් හාර්ඩි සහ නාදන් එලිස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. 

පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඕස්ටේ්‍රලියා කණ්ඩායමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමටත් පෙර මැතිව් ශෝර්ට් පළමු කඩුල්ල ලෙස කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට අසිත ප්‍රනාන්දුට හැකි විය. යළිත් ක්‍රියාත්මක වූ අසිත, ලකුණු 2කට ජේක් ෆ්‍රේසර් දවා ගත්තේ ඕස්ටේ්‍රලියාවේ දෙවැනි කඩුල්ල ලෙසිනි. ඕස්ටේ්‍රලියානු ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 18ක් වෙද්දී ලකුණු 3ක් ලබා සිටි කූපර් කොනොලි තෙවැනි කඩුල්ල ලෙස කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට තීක්ෂණට හැකි විය. 

කෙසේ වෙතත් සිවු වැනි කඩුල්ලට පිටියේ එක්වූ මානස් ලැබුස්චේන් සහ නායක ස්ටීව් ස්මිත් ඊට එක් කළ හැකි වූයේ ලකුණු 13ක් පමණි. දුනිත් වෙල්ලාලගේ යැවූ පළමු පන්දුවෙන්ම ස්මිත් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 12කට දැවී යෑමත් සමඟින් එම සම්බන්ධතාව බිඳවැටිනි. ඕස්ටේ්‍රලියානු ඉනිමේ තීරණාත්මකම සම්බන්ධතාව ගොඩනැගූ ලැබුස්චේන් සහ ඇලෙක්ස් කේරි 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52ක් එක් කිරීම කැපී පෙනිණි. මානස් ලැබුෂේන් ලකුණු 15කට තීක්ෂණ හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමත් සමඟින් එම සම්බන්ධතාව බිඳවැටිනි. ඇලෙක්ස් කේරි ලකුණු 41කට දැවී ගියේ ඕස්ටේ්‍රලියානු ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසිනි. ඒ වන විට ලකුණු පුවරුව 65ක් ලෙසින් සටහන් විය. ශෝන් ඇබොට් ලකුණු 20කට දැවී ගිය අතර නෙදන් එලිස් ලකුණු නොලබා දැවී ගියේය. ආරොන් හාර්ඩි ලකුණු 32ක් රැස්කරමින් ඕස්ටේ්‍රලියානු ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් විය. 

ඒ අනුව ඕස්ටේ්‍රලියාවට පන්දුවාර 33.4කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 165ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 4ක්, දවා ගත් අතර අසිත ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේ අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. වනිඳු හසරංග සහ චරිත් අසලංක එක් කඩුල්ල බැගින් බිඳහෙළීය. 

ලකුණු සාරාංශය 

ශ්‍රී ලංකාව - 214 (46) (චරිත් අසලංක 127, දුනිත් වෙල්ලාලගේ 30, කුසල් මෙන්ඩිස් 19, ජනිත් ලියනගේ 11, ශෝන් ඇබොට් 61/3, ස්පෙන්සර් ජෝන්ස් 44/2, ආරොන් හාර්ඩි 13/2, නාදන් එලිස් 23/2) 

ඕස්ටේ්‍රලියාව - 165 (33.5) (ස්ටීව් ස්මිත් 12, ඇලෙක්ස් කේරි 41, මානස් ලැබුෂ්චේන් 15, ශෝන් ඇබොට් 20, ආරොන් හාර්ඩි 32, අසිත ප්‍රනාන්දු 23/2, මහීෂ් තීක්ෂණ 40/4, දුනිත් වෙල්ලාලගේ 33/2, චරිත් අසලංක 5/1, වනිඳු හසරංග 47/1)