කබඩි සම්මේලනය අතුරු කමිටුවක් යටතට ?

ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ පරිපාලන කටයුතු ඉදිරියට කරගෙන යෑම වෙනුවෙන්

Other Sports

78

ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ පරිපාලන කටයුතු ඉදිරියට කරගෙන යෑම වෙනුවෙන් එය අතුරු කමිටුවක් යටතට පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. 

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ (1දා) පැවැති විශේෂ පරීක්ෂණයෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත් එංගලන්තයේ පසුගියදා පැවැති කබඩි ලෝක කුසලානය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව ජාතික කණ්ඩායමක් නම් කිරීම මෙලෙස කබඩි පරිපාලනය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමටත් එහි කටයුතු අතුරු කමිටුවක් යටතට පත් කිරීමටත් හේතු වී තිබේ. 

කෙසේ වෙතත් ඊයේ පැවැති විශේෂ පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා කබඩි සම්මේලන නිලධාරීන්ට සහභාගි වන ලෙස දන්වා තිබුණ ද ලේකම්වරයා පමණක් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැමිණ ලිපියක් භාරදී තිබූ බවද දැනගන්නට ඇත. 

පසුගිය මාර්තු මාසයේදී එංගලන්තයේ පැවැති කබඩි ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමක් ලෙසින් සාමාජිකයන් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහ නිලධාරීන් තිදෙනෙකු ඇතුළත් කණ්ඩායමක් නම් කිරීමට කබඩි සම්මේලනය පියවර ගෙන තිබූ බව දැනගන්නට ඇත. එහිදී අදාළ කණ්ඩායම වෙනුවෙන් වීසා බලපත්‍ර ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලේකම්වරයාගේ අස්සනින් යුතු ලිපියක් ඉදිරිපත් කර තිබූ අතර වීසා නිකුත් කිරීමට පෙර තානාපති කාර්යාල බලධාරීන් මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විමසීමක් සිදු කර තිබිණි. එහිදී ඉහත තොරතුරු අනාවරණය වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.