ජනාධිපති කුසලාන අන්තර් පාසැල් ලීග් රග්බි තරගාවලිය

මහනුවර ත්‍රිත්ව - කොළඹ ඉසිපතන අවසන් තරගයට

Schools Rugby

1000

ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමලු‍‍න් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුම් ලබා ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල් පසුගියදා සමත් විය. ඒ අනුව එහි අවසන් මහා තරගය එළැඹෙන 18 වැනිදා පස්වරුවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම තරගාවලියේ වත්මන් ශූරයින් වන කොළඹ ඉසිපතන විදුහල මෙහි අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගත්තේ 27 වැනි වරට වීම ද විශේෂත්වයකි.
කොළඹ රාජකීය විදුහල සමඟින් පසුගියදා පැවැති දෙවැනි අවසන් පූර්ව වටයේ තරගය ජයගනිමින් ඉසිපතන විදුහල මෙහි අවසන් මහා තරගය සඳහා පිවිසියේය. එම තරගයේ ආරම්භයේ පටන්ම තම අධිපත්‍ය පැතිරූ ඉසිපතන කණ්ඩායම පළමු අර්ධය නිමා වෙද්දී උත්සාහක දිනුම් 3ක් සහ ප්‍රවර්ථනයන් 3ක් සමගින් ලකුණු 21ක් රැස්කරගෙන තිබිණි. එහිදී රාජකීය විදුහල් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ එක් උත්සාහක දිනුමක් පමණි.
කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී යළිත් තරගයට අවතීර්ණ වූ රාජකීය විදුහල තවත් උත්සාහක දිනුම් 2ක් සහ ප්‍රවර්ථනයක් ද සමඟින් ලකුණු 17ක් රැස්කරගත්ත ද ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.
එහි දී ඉසිපතන විදුහල් කණ්ඩායම උත්සාහක දිනුම් 3ක්, ප්‍රවර්ථනයන් 3ක් සහ එක් දඬුවම් පහරක් සමඟින් ලකුණු 24ක් රැස්කරගනිමින් එම තරගයේ පහසු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සමත් වූහ. ඉසිපතන විදුහලේ නිමන්ත සන්දීප තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගත්තේය.
එසේම මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයේ අනෙක් තරගයෙන් කොළඹ සහිරා විදුහල ලකුණු 29-12ක් ලෙසින් පරාජයට පත් කළ මහනුවර ත්‍රිත්ව විදුහල ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.
ඉතා තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ පළමු අර්ධය නිමා වෙද්දී දෙපිළම ලකුණු 12 බැගින් ලබා ගෙන සම තත්ත්වයේ පසුවීම කැපී පෙනිණි. එසේ වුවත් දෙවැනි අර්ධයේදී තම ග්‍රහණය දැඩි කරමින් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවකට පිවිසි ත්‍රිත්ව විදුහල නියමිත කාලය අවසානයේදී උත්සාහක දිනුම් 4ක්, ප්‍රවර්ථනයන් 3ක් සහ දඬුවම් පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගත් අතර උත්සාහක දිනුම් 2ක් සහ එක් ප්‍රවර්ථනයක් සමඟින් සහිරා විදුහලට ලබා ගත හැකි වූයේ ලකුණු 12 පමණි.
ත්‍රිත්ව විදුහලේ ශාන් අල්තාෆ් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගත්තේය.