කරාතේ දෝ ව්‍යවස්ථා සංශෝධනයට විරෝධයක්

ප්‍රධාන ලේකම්වරයාගේ ක්‍රියාකලාපය වැරදි බවටත් චෝදනා මෙන්ම ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක සභාව රූකඩයක් කරාවි - බහුතර සාමාජිකත්ව සංගම්

Other Sports

40

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ සංශෝධිත නව ව්‍යවස්ථාව සඳහා දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ සංශෝධිත නව ව්‍යවස්ථාව එළැඹෙන 2025 වසරේ ජනවාරි මාසයේදී පැවැත්වෙන විශේෂ මහා සභාවකට යොමු කිරීමෙන් අනතුරුව සම්මත කර ගැනීමට වත්මන් පරිපාලනය සූදානමින් පසුවේ. එසේම මෙම ව්‍යවස්ථා සංශෝධනය 2025 ජනවාරි මස 31 වැනිදාට පෙර සමම්ත කර ගැනීමේ අභියෝගයට ද මේ ව විට ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය මුහුණදී තිබේ. කෙසේ වෙතත් කරාදේ දෝ සම්මේලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ වත්මන් ලේකම්වරයා ඇතුළු නිලධාරී මණ්ඩලය මෙහිදී අත්තනෝමතික අයුරින් කටයුතු කර තිබෙන බවයි.
මෙම නව ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලන විධායක සභාවට උපදෙස් ලබා දීම සඳහා ‘කරාතේ දෝ ජාතික විදවත් මණ්ඩලය’ නමින් විශේෂ කමිටුවක් පත් කර ගැනීමට නියමිතව ඇත. කෙසේ වෙතත් කරාතේ දෝ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම විශේෂ කරාතේ දෝ ජාතික විද්වත් කමිටුව සඳහා නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සහ එය සම්මත කර ගැනීමේ දී බහුතර සාමාජිකත්වයේ දැඩි විරෝධය එල්ල වී ඇති බවයි.
එසේම අදාළ පාර්ශව චෝදනා කරන්නේ මෙම සංශෝධනය මගින් සුපිරි පැලැන්තියක් නඩත්තු කිරීම කරාතේ බලධාරීන්ගේ ඉලක්කය වී ඇති බවයි. එහිදී මෙම විද්වත් මණ්ඩලයට අවශ්‍ය පුද්ගලයන්ට පමණක් ඉදිරියට පැමිණීමට අවස්ථාව සළසා දීමත් ඔවුන්ගේ හිතවතුන් යටතේ පුහුණු වන දරුවන්ට විදෙස් සංචාර ඇතුළු වරප්‍රසාද ලබා දීමත් ඉළක්කය  වී ඇති බවත් එම පාර්ශව චෝදනා කරති.
එසේම මෙලෙස කරාතේ දෝ සම්මේලනයේ විධායක කමිටුව සඳහා උපදෙස් ලබා දීම සඳහා තවත් ‘විද්වත් කමිටුවක්’ අවශ්‍ය නොවන බවත් බහුතර සාමාජිකයන්ගේ මතය වී ඇත. එසේම මෙම තීරණය හරහා ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලන විධාය කමිටුව හුදෙක්ම ‘රූකඩයක්’ පමණක් බවට පත් වන බව ද ඊට විරෝධය දක්වන පාරශවයන්ගේ මතය වී තිබේ.
මේ අතර 2023 වසරේ එවකට ක්‍රීඩා ඇමැතිවරයා මගින් පත් කළ ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ක්‍රියා කළාපය පිළිබඳව ද මේ වන විට දැඩි විරෝධයක් එල්ල වෙමින් ඇත.
එවන් පසුබිමක මෙම නව ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වන පාර්ශව පෙන්වා දෙන්නේ අදාළ අතුරු කමිටු සාමාජිකයන් විසින් ඉදිරිපත් කර තිබූ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් වත්මන් පරිපාලනය මගින් ක්‍රියාක්මක කිරීමට මේ යටතේ සූදානම් වන බවයි. එමගින් 2023 වසරේ පත් වූ අතුරු කමිටුවේ අත්තනෝමතික ක්‍රියා කළාපයම මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉදිරියට ශ්‍රී ලංකා කරාතෝ දෝ සම්මේලනය තුළ ක්‍රියාත්මක වනු ඇති බවත් අදාළ පාර්ශව පෙන්වා දෙයි.