19න් පහළ කාන්තා ලෝක කුසලානය

දෙවැනි පුහුණුවෙන් අපේ කෙල්ලන්ට දැවැන ජයක්

Womens Cricket

59

වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලානයේ පුහුණු තරග වටයේ ඊයේ (15දා) පැවැති තරගයෙන් සැමෝවා රාජ්‍ය හමුවේ ලකුණු 76ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකියාව ලැබිණි. 
මලයාසියාවේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. එහිදී පන්දුවාර 18.2කදී සියලුදෙනා දැවී ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු සංඛ්‍යාව 114කි. ශ්‍රී ලංකාව වෙනුවෙන් සුමුදු නිසංසලා ලකුණු 23ක්, මනුදි නානායක්කාර ලකුණු 13ක් රැස්කළ අතර අසෙනි තළගුණේ නොදැවී ලකුණු 23ක් ලබා ගත්තාය. සැමෝවා රාජ්‍යය වෙනුවෙන් පන්දු යැවීමේදී, ජේන් මැනාසේ කඩුලු 3ක් දවා ගත් අතර සිලේපි පොලටයිවෝ කඩුලු 2ක් දවා ගත්තාය. 
කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සැමෝවා කණ්ඩායමට පන්දුවාර 12.4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 38ක් පමණි. එහිදී සැමෝවා රාජ්‍ය කණ්ඩායමේ කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාවට පවා ලඟා වීමට නොහැකි වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී, ලිමන්සා තිලකරත්න කඩුලු 5ක් දවා ගත් අතර චමුදි ප්‍රබෝධා කඩුලු 3ක් සහ අශේනි තළගුණේ කඩුලු 2ක් දවා ගනිමින් දස්කම් දැක්වීය. 
ලකුණු සාරාංශය 
ශ්‍රී ලංකාව - 114 (18.2) (සුමුදු නිසංසලා 23, මනුදි නානායක්කාර 13, අශේනි තළගුණේ නොදැවී 23, ජේන් මැනාසේ  23/3, සිලේපි පොලටයිවෝ 16/2) 
සැමෝවා - 38 (12.4) (ඔලිවියා ලිෆාගා 7, ඇවේටියා ෆිටු 6, ලිමන්සි තිලකරත්න 6/5, චමුදි ප්‍රබෝධා 6/2, අශේනි තළගුණේ 7/2)