වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලානයේ මූලික වටයේදී ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම දෙවැනි තරගයෙන් ද පහසු ජයක් වාර්තා කර ගැනීමට ඊයේ (21දා) සමත් විය. එහිදී බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හමුවේ ලකුණු 81ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට හිමි විය.
මලයාසියාවේ ක්වාලා ලම්පූර් නුවර බියුමොස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ සුමුදු නිසංසලා සහ සංජනා කාවින්දි පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනැගීම කැපී පෙනිණි. කෙසේ වෙතත් ලකුණු 19ක් රැස්කරගෙන සිටි සුමුදු පළමු කඩුල්ල ලෙසින් දැවී ගිය අතර සංජනා කාවින්දි ලකුණු 38ක් රැස්කර ගත්තාය. නායිකා මනුදි නානායක්කාර වගකීම් සහගත පිතිකරණයක නිරත වෙමින් ලකුනු 37ක් රැස්කරගත්තේ පන්දු 31ක් පමණක් වැය කරමිනි. හිරුණි කුමාරිට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණි. රෂ්මිකා සෙව්වන්දි ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට කොදෙව් ක්‍රීඩිකාවන් සමත් වූ අතර ශෂිනි ගිම්හානි නොදැවී ලකුණු 4ක් රැස්කර ගත්තාය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේදී සුපිරි පිතිකරණයක නිරත වු දැහැමි සෙනෙත්මා පන්දු 25කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 3ක් සමඟ නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 31කි. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 166කි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී, සෙලිනා රොස් කඩුලු 2ක් දවා ගත් අතර ජසාන් ක්ලැක්ස්ටන්, කෙනිකා කැසර් සහ නයිජැන්නි කියුම්බර්බෙත් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
එම අභියෝගාත්මක ඉලක්කය හඹා ගිය කොදෙව් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 10ක් වෙද්දී පළමු කඩුල්ල ලෙස අසාබි කැලෙන්ඩර් ලකුනු 4කට දැවී ගිය අතර නයිජැන්නි කියුම්බර්බෙත් ලකුණු 3කට දැවී ගියාය. ජසාරා ක්ලැක්ස්ටන් ලකුණු 15කට පිටියෙන් ඉවත් වූවාය. නායිකා සමාරා රාම්නාත් ලකුණු 24ක් රැස්කරගත්තාය. බෙරිනා හරික්රන් ලකුණු 3කටත් අම්රිතා රාම්තාල් ලකුණු 11කටත් දැවී යද් දී කොදෙව්වන් දැඩි අසීරුතාවයට ලක් විය. අවසන් මොහොතේ යම් සටනක නිරත වූ කෙනිකා කැසර් ලකුණූ 12ක් ලබා ගත්තාය. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් ඉනිම පන්දුවාර 19.4කදී ලකුණු 85කට සීමා වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 81ක පහසු ජයක් හිමිකර දෙමිනි.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී, චමෝදි ප්‍රබෝධා ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත්තාය. අසේනි තළගුණේ සහ ලිමන්සා තිලකරත්න අතරේ කඩුලු 2 බැගින් බෙදී ගිය අතර ප්‍රමුදි මෙත්සරා සහ ශෂිනි ගිම්හානි එක් කඩුල්ල බැගින් දවා ගත්හ.
ලකුණු සාරාංශය
ශ්‍රී ලංකා ඉනිම - 166/5 (20) (සංජනා කාවින්දි 38, මනුදි නානායක්කාර 37, දැහැමි සෙනෙත්මා නොදැවී 31, සුමුදු නිසංසලා 19, සෙලිනා රොස් 25/2)
කොදෙව් ඉනිම - 85 (19.4) (සමාරා රාම්නාත් 24, ජසාරා ක්ලැක්ස්ටන් 15, චමෝදි ප්‍රබෝධා 16/3, අසෙනි තලගුණේ 16/2, ලිමන්සා තිලකරත්න 7/2, ප්‍රමුදි මෙත්සරා 16/1, ශෂිනි ගිම්හානි 1/1)