ක්‍රිකට් නිලවරණය මාර්තු 31

වත්මන් සභාපති ශම්මිට වැඩි වාසි

National Cricket

48

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය එළැඹෙන මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

එහිදී 2025 සිට 2027 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව තෝරා ගැනීම වෙනුවෙන් මෙම නිලවරණය පැවැත්වෙනු ඇත. කෙසේ වෙතත් අදාළ නිලවරණය වෙනුවෙන් නාමයෝජනා කැඳවීම පෙරේදා (22දා) පස්වරුවේ අවසන් වූ අතර එහි දී සභාපති ධූරය සඳහා නාමයෝජනා 4ක් ඉදිරිපත් වී තිබීම විශේෂත්වයකි.
ඒ අනුව වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති සහ ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති ශම්මි සිල්වා මහතා, විධායක කමිටු සාමාජිකයන් වන ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වෙල යන මහත්වරුන් ද සභාපති තනතුර වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කර තිබේ. එසේම මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ ඡන්ද හිමි ක්‍රීඩා සමාජ 59න් 56ක් ශම්මි සිල්වා මහතා මීලඟ සභාපතිවරයා ලෙස වත්මන් සභාපති ශම්මි සිල්වා මහතාගේ නම යෝජනා කර තිබීම කැපී පෙනෙන සිදුවීමකි. ඊට අමතරව ගාල්ල ක්‍රිකට් සංගමයේ සභාපති දිලිප් චාල්ස් මහතාගේ නම ද සභාපති තනතුර සඳහා යෝජනා කර තිබුණ ද එම නාම යෝජනාව නිලවරණ කමිටුව මගින් ප්‍රතික්ෂේප කර ඇති බව ද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මෙලෙස ඉදිරිපත් වූ නාමයෝජනා සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් වෙතොත් එය එළැඹෙන හෙට (25දා) උදෑසන 9.00 සිට 11.00 දක්වා නිලවරණ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සළසා දී තිබේ.
මේ අතර උප සභාපති තනතුරු සඳහා රවීන් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වෙල යන මහත්වරුන් නාමයෝජනා ඉදිරිපත් කර ඇති අතර ප්‍රධාන ලේකම් තනතුර සඳහා වත්මන් වැඩ බලන ප්‍රධාන ලේකම්,  ක්‍රිෂාන්ත කපුවත්ත, සමන්ත දොඩන්වෙල සහ බන්දුල දිසානායක යන මහත්වරුන් නාමයෝජනා ඉදිරිපත් කර තිබේ. එමෙන්ම භාණ්ඩාගාරික තනතුර සඳහා වත්මන් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරුන් නාමයෝජනා ඉදිරිපත් කර ඇත.