ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට එක්වන බංග්ලාදේශ සංචිතය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ඊයේ (23දා) ප්‍රකාශයට පත් කර තිබිණි.
දඟ පන්දු යවන ක්‍රීඩක මෙහෙදි හසන් මිරාස්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්ය. එසේම පසුගිය ශූරයින්ගේ කුසලානය හා සැළකීමේදී මෙම ශ්‍රී ලංකා එක්දින සංචාරයට එක්වන බංග්ලාදේශ සංචිතයේ වෙනස්කම් 5ක් සිදු කර තිබීම ද විශේෂත්වයකි.
කෙසේ වෙතත් මැදපෙල පිතිකරු මහමුදුල්ලා සහ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් එක්දින තරග රටාවෙන් සමුගැනීම ද මෙලෙස වෙනස්කම් සිදු කිරීමට හේතු වී තිබේ. ඒ අනුව මෙම ශ්‍රී ලංකා එක්දින සංචාරය සඳහා කළකට පසුව කඩුලු රකින ක්‍රීඩක ලිතන් දාස් බංග්ලාදේශ සංචිතයට නම් කර තිබීම විශේෂත්වයකි. එසේම බංග්ලාදේශ දේශීය ක්‍රිකට් තරගාවලියේ දස්කම් දැක්වූ වමත් ආරම්භක පිතිකරු මොහොමඩ් නයීම් ද දෙවසරකට පසුව බංග්ලාදේශ එක්දින සංචිතයට කැඳවා තිබේ. එපමණක් නොව ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වූ වේගපන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් මෙම එක්දින සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි. ඊට අමතරව ශමීම් හුසේන් සහ ටන්වීර් ඉස්ලාම් සහ හසන් මහමුද් ද මෙම එක්දින සංචිතය සඳහා කළකට පසුව කැඳවා ඇත.
කෙසේ වෙතත් වමත් පිතිකරු සොවුම්ය සර්කාර්ට මෙවර බංග්ලාදේශ එක්දින සංචිතයේ ස්ථානය අහිමිව ගොස් ඇත.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3කින් යුත් එක්දින තරගාවලිය එළැඹෙන ජූලි මස 2 වැනිදා පැවැත්වෙන පළමු තරගයෙන් ආරම්භ වීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව දෙරට අතර දෙවැනි එක්දින තරගය ජූලි මස 5 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. එම තරග දෙකම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර තෙවැනි තරගය ජූලි මස 8 වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
බංග්ලාදේශ සංචිතය - මෙහෙදි හසන් මිරාස් (නායක), ටන්සිඩ් හසන්, පර්විස් හුසේන්, මොහොමඩ් නයිම්, නජ්මුල් හසන් ශැන්ටෝ, තව්හිද් හිර්දෝයි, ලිතන් දාස්, සාකිර් අලී, ශමීම් හුසේන්, රිෂාඩ් හුසේන්, ටන්විර් ඉස්ලාම්, ටස්කින් අහමඩ්, ටන්සිම් හසන්, නහිද් රාණා, හසන් මහමුද්, මුෂ්ටෆිසුර් රෙහෙමාන්.