ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය

පිරිමි ශූරතාව රදාවානට

Volleyball

115

2024 ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග පසුගියදා (16දා) නිමාවට පත් විය. 

‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024‘ ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරග වෙනුවෙන් මෙම තරග පැවැත්වීමට කටයුතු යොදා තිබීම ද විශේෂත්වයකි. ඒ අනුව මෙම අවසන් මහා තරග තුම්මුල්ල ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 

එහි පිරිමි අංශයේ ශූරතාව හිමිකර ගැනීමට රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජයට හැකි විය. එහිදී රුවන්වැල්ල රාජසිංහ කණ්ඩායමට එරෙහිව තරග වට 3-0ක පහසු ජයක් ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම සතු විය. 

එහිදී පැවැති කාන්තා මහා අවසන් තරගය සඳහා ගලිගමුව හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය සහ අම්පාර මාස් ‘ඒ’ ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා තිබිණි. එහි තියුණු අවසන් මහා තරගයකින් අනතුරුව ගලිගමුව හයිඩ්‍රාමනි කණ්ඩායමට එරෙහිව තරග වට 3-1ක ජයක් හිමිකර ගැනීමට සමත් වූයේ අම්පාර මාස් ‘ඒ’  කණ්ඩායමයි. 

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ. එස්. නාලක ,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී.ඩී.එස්.ආර්.දි සිල්වා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි උප සභාපති ජාතික විකුණුම් චන්න අමරසේකර, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති සහ ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති කංචන ජයරත්න යන පිරිස මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වූ අයුරු ඡායාරූපයන්ගෙන් දැක්වේ.