සාෆ් 17න් පහළ පාපන්දු තරගාවලියට ලංකාවෙන් 23ක්

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ පාපන්දු කණ්ඩායමට ඇතුළත් සාමාජිකයින් සංඛ්‍යාව 23ක් දකුණු ආසියානු (සාෆ්) සදහා භූතානය බලා පිටත්ව යයි.

International Football

67

දකුණු ආසියානු (සාෆ්) වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17දා) භූතානය බලා පිටත්ව ගියේය.

මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ පාපන්දු කණ්ඩායමට ඇතුළත් සාමාජිකයින් සංඛ්‍යාව 23කි. එහි නායකත්වය හෆීල් අක්‍රම්ට හිමිවී ඇති අතර ආරොන් සේනපාල උප නායකත්වයේ වගකීම් දරණු ඇත. මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන්නේ අරුණ සම්පත් මහතාය.
මෙම මස 20 වැනිදා සිට 30 දා දක්වා පැවැත්වෙන මෙවර දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් තරග වදිනු ඇත. එම කාණ්ඩයට ඇතුළත් සෙසු රටවල් වන්නේ සත්කාරක භූතානය, පාකිස්තානය සහ නේපාලයයි. ඉන්දියාව, මාලදිවයින සහ බංග්ලාදේශය ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදිනු ඇත.
ඒ අනුව මූලික වටයේ තරග අවසානයේ එක් එක් කාණ්ඩයන්හි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනු ඇත. එහි අවසන් පූර්ව වටයේ තරග එළැඹෙන 28 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ. එසේම අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළැඹෙන 30 වැනිදාය. මෙම තරගාවලියේ සියලු තරග භූතානයේ චන්ග්ලිමිතාන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
ශ්‍රී ලංකා සංචිතය - හෆීල් අක්‍රම් (නායක), ඉෆාම් මොහොමඩ් සයිඩ්, විජයරත්නම් හරිෂ්, ඩේමියන් ඇන්තනී ගුණරත්න, මලික් අහමඩ්, ඉර්ෂාඩ් හුමෙයිඩ්, ආරොන් සේනපාල (උප නායක), දෙව්නිජ විජයරත්න ජයසූරිය, සෙනුල වීරප්පුළි, හිරුන් විරාෂ, අනූප පබසර, ඉම්රාන් මොහොමඩ් ඉෂාක්, හිසමුඩීන් මොහොමඩ් ඊබ්‍රාහිම්, ධර්මදේවන් හරිෂාන්, හමීඩ් මොහොමඩ් ඉර්ෆාන්, කතාර් ශහීඩ්, ජොෂුවා පියර්සන්, රෙහාන් ගලනිහ, සකේරියා සෆරුල්ලා, ඉරුෂ මාකෝ, මොහොමඩ් යකූබ්, අලාම් අක්‍රම්, රහීම් මුහම්මදු රම්සීන්.