ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ මලයාසියාවට

යොවුන් ලෝක කුසලානයේ දී ලංකාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට

Womens Cricket

17

වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලානයට එක්වීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පසුගියදා මලයාසියාව බලා පිටත්ව ගියහ. 

මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් යුත් මෙම ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය හිමිව ඇත්තේ රෂ්මිකා සෙව්වන්දිටයි. එසේම මෙම කණ්ඩායමට ඇතුළත් සාමාජිකාවන් සංඛ්‍යාව 15කි. එසේම මෙම සංචිතය සඳහා ද රත්ගම දේවපතිරාජ විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩිකාවන් 5 දෙනෙකු ඇතුළත්ව තිබීම කැපී පෙනෙන සිදුවීමකි. 

මලයාසියාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලානයේ මූලික වටයේදී ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාවට අමතරව ‘ඒ’ කාණ්ඩය සඳහා සත්කාරක මලයාසියාව, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ඇතුළත්ය. 

මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය 19 වැනිදා සත්කාරක මලයාසියාව සමඟින් පැවැත්වෙන අතර දෙවැනි තරගය කොදෙව්වන් සමඟින් 21 වැනිදා පැවැත්වේ. මූලික වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන අවසන් තරගය 23 වැනිදා ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතය. 

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා සංචිතය - මනුදි නානායක්කාර (නායිකා), රෂ්මිකා සෙව්වන්දි (උප නායිකා), විමෝක්ෂා බාලසූරිය, හිරුණි හංසිකා, සුමුදු නිසංසලා, දැහැමි සනුත්මා, රෂ්මි නෘත්‍යාංජලී, ශෂිනි ගිම්හානි, අශේනි තලගුණේ, ප්‍රමුදි මෙත්සරා, චමෝ දි ප්‍රබෝධා, සංජනා කාවින්දි, දනුලි තෙන්නකෝන්, ලිමන්සා තිලකරත්න, ශෙහාරා ඉඳුවරී.