22න් පහළ ආසියානු ශූරතා බොක්සිං තරගාවලියේ සත්කාරකත්වය ලංකාවට

2025 ආසියානු කුසලාන වයස අවුරුදු 22න් පහළ බොක්සිං ශූරතා තරගාවලියේ සත්කාරකත්වය

Other Sports

62

2025 ආසියානු කුසලාන වයස අවුරුදු 22න් පහළ බොක්සිං ශූරතා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවී ඇති බව වාර්තා වේ. 

ඒ අනුව අදාළ තරගාවලිය මෙම වසරේ මැයි මාසයේ 10 වැනිදා සිට 24 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව ඇත. ආසියානු බොක්සිං කවුන්සිලයේ විධායක කමිටුව මේ සම්බන්ධයෙන් පසුගියදා නිල වශයෙන් නිවේදනය කර තිබිණි. 

කෙසේ වෙතත් 1969 වසරින් පසුව ප්‍රමුඛපෙලේ ආසියානු බොක්සිං තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දී නැත. එවන් පසුබිමක ආසියානු කලාපීය ප්‍රධාන බොක්සිං තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ දෙවැනි වරට වීම ද විශේෂත්වයකි. මින් පෙර 1969 වසරේදී ආසියානු බොක්සිං ශූරතා තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙහිදී කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය සහ කොළඹ ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව මෙම තරගාවලියේ තරග පැවැත්වීමට මේ වන විට සැළසුම් සකස් කර ඇති බව පැවැසේ. පසුගියදා නිමා වූ ජාතික ශූරතා බොක්සිං තරගාවලියේ අවසන් මහා තරග ද පැවැත්වුනේ කොළඹ ගාලු මුවදොර පිටියේදීය. 

2003, 2004, 2005 සහ 2006 යන වසරවලදී උපන් බොක්සිං ක්‍රීඩකයින් මෙම වසය අවුරුදු 22න් පහළ ආසියානු ශූරතා බොක්සිං තරගාවලියට එක්වීමට සුදුසුකම් ලබනු ඇත. එසේම 2007 සහ 2008 වසර වලදී උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද මෙම තරගාවලිය සඳහා එක්වීමට අවස්ථාව හිමි වනු ඇති බව බොක්සිං ආරංචිමාර්ග සඳහන් කරයි. 

කෙසේ වෙතත් පසුගිය කාලයේදී ශ්‍රී ලංකා බොක්සිං සම්මේලන මගින් ශ්‍රී ලංකාව තුළ බොක්සිං ක්‍රීඩාව දියුණු කිරීමටත් එහි ගුණාත්මක භාවය ඉහළ නංවා ගැනීමටත් ගෙන ගිය වැඩ පිළිවෙලෙහි සාර්ථකත්වය මත මෙම ආසියානු කුසලාන බොක්සිං ශූරතා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබීම ද කැපී පෙනෙන සිදුවීමකි. 

2024 වසරේදී පැවැති අවසන් ආසියානු කුසලාන බොක්සිං ශූරතා තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දුන්නේ කසකස්තානයයි. අදාළ තරගාවලිය පසුගිය 2024 වසරේ අප්‍රේල් සහ මැයි මාසයන්හිදී පැවැත්විණි.