ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 64 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (31දා) කොළඹදී නිමාවට පත් විය.
එහිදී අකණ්ඩව සිවු වැනි වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයා ලෙසින් හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරඟයෙන් තේරී පත් විය. ඒ අනුව 2025 වසරේ සිට 2027 වසර දක්වා ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ඇත.
ඊට අමතරව අදාළ කාල සීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සෙසු නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම ද මෙහිදී සිදු විය. ඒ අනුව උප සභාපතිවරුන් ලෙස හිටපු උප සභාපති ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න මහත්වරුන් තේරී පත් වූ අතර බන්දුල දිසානායක මහතා නව ලේකම්වරයා ලෙසින් තේරී පත් විය.
එසේම හිටපු භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා නව භාණ්ඩාගාරිකවරයා ලෙසින් මෙහිදී තේරී පත් විය. එසේම ලසන්ත වික්‍රමසිංහ මහතා උප භාණ්ඩාගාරිකවරයා වශයෙන් ද උප ලේකම්වරයා ලෙස හිටපු වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා ද තේරී පත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම වෙනුවෙන් පත් කළ නිලවරණ කමිටුව සාමාජිකයන් 5 දෙනෙකුගෙන් සමන්විත විය. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්නගේ සභාපතිත්වයෙන් යුක්ත වූ එම මෙම නිලවරණ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු නිලධාරියකු වන සුනිල් එස්. සිරිසේන, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු නිලධාරියකු වන සෝමරත්න විධානපතිරණ සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු නිලධාරිනියක වන සී.එම්. හේරත් යන මහත්ම මහත්මීන් එම නිලවරණ කමිටුව නියෝජනය කළහ.