සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 26ක්

නදීෂා ගයාත්‍රි රන් පදක්කම් 4ක් දිනයි

Other Sports

1000


ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සමඟ එක්ව සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් විසින් මෙහෙයවනු ලැබූ සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශුරතාවලියේ වැඩිම ගෞරවය අත්කර ගනිමින් රන් පදක්කම් 26ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ. කොළඹ 10, සාන්ත ජෝශප් විද්‍යාලයිය ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී දින 4ක් පුරා පැවැති මෙම ශූරතාවලියේ රන් පදක්කම් 26ක් සහ රිදී පදක්කම් 18ක් අත්කර ගනිමින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්වෙද්දී ඉන්දියාව රන් පදක්කම් 11ක් සහ රිදී පදක්කම් 17ක් අත්කර ගනිමින් දෙවැනි ස්ථානය දිනා ගත්තේය.

 

නදීෂා ගයාත්‍රි රන් පදක්කම් 4ක් දිනා ගත් අතර, හිටපු ජාතික ශූර සහ ඔලිම්පික් ක්‍රීඩක නිලූක කරුණාරත්න සහ මංජුල සම්පත් රන් පදක්කම් ත්‍රිත්වය බැගින් දිනා ගැනීමට සමත්වූහ. නිරෝෂන් විජේකෝන් රන් පදක්කම් දෙකක් දිනා ගත්තේය. 


අවුරුදු 35න් ඉහළ සිට අවුරුදු 75න් ඉහළ දක්වා කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් වූ සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියට ලොව පුරා බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරත රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 350කට අධික සංඛ්‍යාවක් තරග වැදුණි. එහිදී රන් සහ රිදී පදක්කම් 4 බැගින් දිනා ගැනීමට ඉන්දුනීසියාව සමත්වූ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ස්විට්සර්ලන්තය රන් සහ රිදී එක් පදක්කම බැගින් දිනා ගනිමින් ශුරතාවලියේ හොඳම රටවල් 5 අතරට එක්විය. 


ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත්වලට අමතරව අමෙරිකානු ඩොලර් දසදහසක මුදල් ත්‍යාග පිරිනැමුණු සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොෂාන් ගුණවර්ධන සහ සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වා මහත්වරු සහ සාන්ත ජෝශප් විදුහලේ විදුහල්පති රංජිත් අන්ද්‍රාදි පියතුමා ඇතුළු ආරාධිතයන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.