ටෙස්ට් පිටියට සමුදෙන මැතිව්ස්ට ගාලු පිටියේදී ගෞරව

ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය

International Cricket

1000

ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (17දාගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. මෙම තරගය ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරගය වීම විශේෂත්වයකි. තරගය ආරම්භ වීමට පෙර මැතිව්ස්ට ගෞරව දැක්වීමට කුඩා උත්සවයක් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබිණි. එම අවස්ථාවට ඇන්ජිලෝ මැතිව්ස්ගේ බිරිඳ, දරුවන් සහ මව්පියෝද සහභාගී වූහ. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලිසිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහත්වරුන් විසින් ඇන්ජිලෝ මැතිව්ස්ට සමරු තිළිණ ප්‍රදානය කරන ලදි. අනතුරුව ඇන්ජිලෝ මැතිව්ස් තරගවේ පන්දු රැකීමට ගාලු පිටියට පිවිසුණේ ක්‍රීඩකයන්ගේ ගෞරවාචාර මධ්‍යයේය.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මැතිව්ස් මෙසේ පවසා සිටියේය.
"මම 2009 වසරේදී පාකිස්තානයට එරෙහිව පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළේත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. ඒ වගේම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මම මගේ 100 වැනි ටෙස්ට් තරගයත් ක්‍රීඩා කළා. ඉතින් ගාල්ලේ ක්‍රීඩාංගණයේ බංග්ලාදේශය සමඟ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයෙන් අනතුරුව මම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දෙනවා. ඉදිරියේදී අපට ටෙස්ට් තරග නැති වීම වගේම ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් වසරක් පමණ බලා හිඳීමට සිදුවීම මාගේ සමුගැනීමට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැකියි. මගේ විශ්‍රාම ගැනීම තවත් ක්‍රීඩකයෙකුට අවස්ථාව ලබා දීමක්."
ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගය මැතිව්ස්ගේ 119 වැනි ජාත්‍යන්තර ටෙස්ට් තරගයයි. ඔහු මේ වන විට ටෙස්ට් ලකුණු 8167ක් ලබා ගෙන ඇත්තේ ශතක 16ක් සහ අර්ධ ශතක 45ක් සමඟිනි. ටෙස්ට් කඩුලු 33ක් දවාගෙන ඇති මැතිව්ස් ටෙස්ට් තරගවලදී උඩපන්දු 77කට දායක වී තිබේ.