නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව පැවැත්වෙන එක්දින තරගාවලියේ තීරණාත්මක දෙවැනි තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කර තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව ලකුණු රැස්කළ නවසීලන්ත කණ්ඩායමට පන්වදුාර 45.1කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 209ක් පමණි. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දුවාර 46කදී කඩුලු 7ක් පමණක් දැවී එය සපුරා ගැනීම කැපී පෙනිණි. එහිදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් සහ මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 27ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන ගියහ. ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0ක් ලෙස තරගවලියේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. කෙසේ වෙතත් මෙම ජයග්‍රහනය ඉතිහාසයට එක් වූයේ වසර 12කට පසුව ද්වීපාර්ශවීය එක්දින තරගාවලියකදී නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කළ එක්දින තරගාවලි ජය ලෙසිනි.
මේ අතර එම තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කියා සිටියේ කණ්ඩායමේ සියලුදෙනාගේ ආත්ම විශ්වාසය මේ වන විට ඉතා ඉහළ තළයක පවතින බවයි. එහි දී තවදුරටත් මෙසේද පැවැසූ තීක්ෂණ, ‘කළින් වසරවලට වඩා අපි අපේ ශක්තිය තේරුම් අරන් මේ වසරේදී ක්‍රීඩා කළා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වයන් යටතේ අපි හොඳින් ක්‍රීඩා කරනවා. බොහෝ තරග වල තණතීරු දඟ කැවුනත් අපේ පිතිකරුවන් හෙඳින් වගකීම් ඉටු කළා. එසේම කණ්ඩායම සතුව දක්ෂ අතිරේක ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ඉන්නවා. පසුගිය වසර 3ට සාපේක්ෂව ක්‍රීඩකයින් අතර යම් තරගකාරීත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපි හොඳින් ක්‍රීඩා නොකළහොත් පහසුවෙන්ම කණ්ඩායමෙන් ඉවතට විසිවී යා හැකියි. එම තත්ත්වය තුළ කණ්ඩායමේ රැඳී සිටින්නට නම් සියලුදෙනා හොඳින්ම ක්‍රීඩා කළ යුතුයි. පසුගිය තෙවසරක නොතිබූ වර්තමානයේ කණ්ඩායමේ තිබෙන්නේ එම තරගයයි. එසේම පන්දු යවන්නන් වුවත් මේ වන විට යම් තරමකටහෝ පිතිකරණයේ යෙදීමට සූදානමින් ඉන්නවා. ඒ අනුව අපි දන්නවා එක් අයෙක් අසාර්ථක වුවත් වෙනත් පිතිකරුවෙකු වගකීම් සහගතව තරගය නිමා කරනවා කියා.’
මෙහිදී කුසල් සමගින් පන්දුවට පහරදෙන අවස්ථාවේදී යොදා ගනු ලැබූ සැළසුම් පිලිබඳව මෙලෙස අදහස් පළ කළ තීක්ෂණ පැවැසූවේ මෙවැන්නකි. ‘ඒ අවස්ථාවේදී අපි දෙදෙනාගේම අදහස වී තිබුණේ හැකි තරම් අවසන් පන්දුවාරය දක්වා තරගය රැගෙන යෑමයි. එසේම ඉනිමේ අවසන් කොටසේදී තිබූ පින්න හේතුවෙන් පිතිකරණයේ යෙදීමේ යම් පහසුවක් තිබුණා. එහිදී ඔවුන් සෑම අවස්ථාවකම කුසල්ට පහසුවෙන් ලකුණක් ලබා ගැනීමට අවස්ථාව ලබා දුන්නා. ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ මාව දවා ගැනීමයි. එසේ වුවත් දුර්වල පන්දු වලින් හතරේ පහර ලබා ගනිමින් අපි ඉලක්කයට ලඟා වුණා.’
කාසියේ වාසිය දිනා නවසීලන්තයට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දීම ගැන යාමු වූ පැනයකට මෙලෙස පිළිතුරු ලබා දුන් තීක්ෂණ ‘එම තීරණය ගනු ලැබූයේ සවස් කාලයේ වර්ෂාව ඇති වන බවට කාලගුණ වාර්වේ සඳහන්ව තිබීම නිසයි. වර්ෂාව ලැබීමෙන් පසුව පන්දු යැවීම ඉතා අපහසු බව අපි දන්නවා. නමුත් සිතූ තරම් වර්ෂාවක් ලැබුණේ නැහැ. එපමණක් නොව අපි පන්දු යවන අවස්ථාවට වඩා ඔවුන් පන්දු යවද්දී තණතීරුවේ විශාල දඟ කැවීමක් තිබුණා.’ යනුවෙන් පැවැසීය.