ගම්බීර්ගේ තටු කැපේ

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර්ගේ බලතල රැසක් කප්පාදු කිරීමට එරට ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇත.

International Cricket

37

ඉන්දීය කණ්ඩායම පසුගිය කාලයේ ලද පරාජයන් රැල්ල හේතුවෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර්ගේ බලතල රැසක් කප්පාදු කිරීමට එරට ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. 

එහිදී ගෞතම් ගාම්භීර්ගේ කළමණාකරු ගැන විශේෂ අවධානයක් යොමු කරමින් පියවර රැසක් ගෙන තිබීම ද විශේෂත්වයකි. ඒ අනුව ඉදිරියේදී ගෞතම් ගාම්භීර්ගේ කළමණාකරුට, ක්‍රීඩකයින් නවාතැන් ගන්නා හෝටල් පරිශ්‍රයේ නවා තැන් ගැනීම තහනම් කර ඇති අතරම කණ්ඩායම රැඳී සිටින අවස්ථා වල එම හෝටලයට ඇතුළු වීම පවා අවහිර කර තිබීම ද විශේෂත්වයකි. එපමණක් නොව ඉන්දීය කණ්ඩායම එක්වන ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී විශේෂ අමුත්තන්ට වෙන් වූ කොටසට ඇතුළු වීම පවා ගාම්භීර්ගේ කළමණාකරුවාට නොහැකි වනු ඇත. 

ඊට අමතරව මෙතෙක් කළක් විදෙස් සංචාර හෝ දේශීය තරගාවලි වලදී ගාම්භීර්ගේ කළමණාකරුවා ජාතික කණ්ඩායම සමඟින් කණ්ඩායම ගමන් ගන්නා බසයේ ගමන් කිරීමට කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් මෙම නව තීරණයත් සමඟින් ගාම්භීර්ගේ කළමණාකරුවාට කණ්ඩායම් බසයේ ගමන් කිරීමත් තහනම් කර ඇත. 

ඉන්දීය ටෙස්ට් සහ එක්දින නායක රෝහිත් ෂර්මා, ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර්, තේරීම් කමිටු ප්‍රධානී අජිත් අගාකාර්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල නව ලේකම් දේව්ජිත් සයිකියා සහ එරට ක්‍රිකට් පාලක මණ්ඩල ඉහළ පෙලේ නිලධාරීන් එක්වූ විශේෂ රැස්වීමකින් අනතුරුව මෙම තීරණ ගෙන තිබිණි. 

එසේම ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි විදෙස් සාංචාර වලදී කණ්ඩායම් සාමාජිකයන්ට ඔවුන්ගේ පවුල් සමඟින් නවාතැන් ගැනීම පවා සීමා කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබේ. එපමණක් නොව තරග සංචාරයන් වලදී කණ්ඩායමේ සාමාජිකයන් සියලු දෙනා කණ්ඩායම් බසයේ පමණක් ගමන් කළ යුතු බවට ද මෙහිදී තීරණය කර ඇත. විදෙස් සංචාරයකදී ක්‍රීඩකයින්ගේ ගමන් මලු වල බර කිලෝ ග්‍රෑම් 150 ඉක්මවන අවස්ථාවක ඊට අදාළ අමතර වියදම ක්‍රීඩකයින් විසින් පෞද්ලිකව දරා ගත යුතු බවට ද මෙහි දී තීරණයකට එළැඹ තිබීම කැපී පෙනෙන සිදුවීමකි.