මලයාසියාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන තවත් පුහුණු තරගයක් හෙට (15දා) පැවැත්වීමට නියමිතව ඇත.
එහිදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සැමෝවා කණ්ඩායමට මුහුණදීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පෙරවරුවේ කොලිජ් ටුවන්කු ජාෆර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් මෙම තරගාවලියට අදාළව පසුගිය 13 වැනිදා පැවැති පළමු පුහුණු තරගයෙන් කඩුලු 4ක පරාජයක් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට සිදු විය. ක්වාලා ලාම්පූර්හිදී පැවැති එම තරගයේදී පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 124කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ පන්දුවාර 18.3කදී කඩුලු 6ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වූහ.
මෙවර වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලානයේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේ තරග බිමට පිවිසෙනු ඇත. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, මලයාසියාව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයට ඇතුළත්ය.
එහි ‘බී’ කාණ්ඩය යටතේ එංගලන්තය, අයර්ලන්තය, පාකිස්තානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය තරග වැදීමට නියමිත ඇත ‘සී’ කාණ්ඩයට ඇතුළත් රටවල් වන්නේ, නවසීලන්තය, නයිජීරියාව, සැමෝවා රාජ්‍යය සහ දකුණු අප්‍රිකාවයි. ඊට අමතරව ‘ඩී’ කාණ්ඩය යටතේ ඕස්ටේ්රලියාව, බංග්ලාදේශය, නේපාලය සහ ස්කොට්ලන්තය තරග වැදීමට නියමිතව ඇත.