වසර 6ක බැඩ්මින්ටන් සභාපතිධුරය වෙනස් වෙයි.

රොහාන් ද සිල්වා ඉවත් වෙයි

Other Sports

134

පුරා වසර 6ක කාලයක් අඛණ්ඩව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රොහාන් ද සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. එම කාලය තුළ බැඩ්මින්ටන් ආයතනය පරිවර්තනීය යුගයක් කරා රැගෙන යෑමට කැපවීමකින් යුතුව කටයුතු කළ රොහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට රැගෙන යෑමට පමණක් නොව ශ්‍රී ලංකාව  පුරා බැඩ්මින්ටන් ක්‍රීඩාවේ සංවර්ධනයට මහඟු සේවාවක් ඉටු කළේය. 
මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවට නව වෙනසක් අවශ්‍යව තිබූ කාලයක 2019 වසරේදී සභාපතිධුරයට පත් වූ රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ ග්‍රාමීය මට්ටමේ සිට ඉහළම මට්ටම දක්වා පෙර නොවූ විරූ ආකාරයේ සාර්ථකත්වයක් අත්කර ගත්තේය. ක්‍රීඩාව සම්බන්ධව ඔහුගේ උපාය මාර්ගික සැලසුම් හා ක්‍රීඩාවට තිබෙන දැඩි කැමැත්ත බැඩ්මින්ටන් ක්‍රීඩාව රට පුරා ප්‍රචලිත කිරීමට පමණක් නොව බැඩ්මින්ටන් ප්‍රජාව අතර එය නව සංස්කෘතියක් බවට පත් කිරීමට ද ඉවහල් විය. 
සිය ධුර කාලය ඇතුළත ඔහු ජාතික තරගාවලි, තරුණ සංවර්ධන වැඩසටහන්, ජාත්‍යන්තර සහයෝගිතා, පුහුණුකරුවන් සංවර්ධනය කිරිම, තාක්ෂණික නිලධාරීන් ව්‍යාප්ත කිරීම හා ජාතික සංචිතය පුහුණු කිරීම ආදී විවිධ වැඩසටහන් තුළින් රට පුරා බැඩ්මින්ටන් ක්‍රීඩාව ජනප්‍රියත්වයට පත් කිරීමට කැපවී සිටියේය. 
පළාත් හා දිස්ත්‍රික් මට්ටමේ සිට ජාතික කණ්ඩායම දක්වා සෑම තරාතීරමකම සහභාගිත්වයේ සැලකිය යුතු වර්ධනයක් සිදු වීමට ඔහුගේ උත්සාහය හේතු විය. 
 ‘බැඩ්මින්ටන් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම මගේ ජීවිතයේ ලැබූ විශාල ගෞරවයක්‘ රොහාන් ද සිල්වා මහතා කීවේය. 
‘ක්‍රීඩාව තුළින් අත්කර ගත හැකි දේවල් කෙරෙහි අපි අඛණ්ඩව ප්‍රමුඛත්වය දීම වැදගත්. සියලු ආකාරයේ පුහුණුකරුවන්ගේ හා ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය දිරිමත් කිරීම බැඩ්මින්ටන් ක්‍රීඩාව විචිත්‍රවත් හා විවිධාකාරයේ ප්‍රජාවක් ලෙස ගොඩ නැඟීම සහතික කරයි. එමෙන්ම ඉදිරියේදී පත්වන සභාපතිවරයාගෙන් මා ඉල්ලා සිටින්නේ ක්‍රීඩාවෙන් වර්තමානයේ අප සිටින තත්ත්වයට පත්වීමට දායකත්වය ලැබුණු සම්ප්‍රදායික කරුණු කාරණාවලට ගෞරවය දක්වන අතරතුරදීම නවෝත්පාදනය සඳහාත් දොරටු හැර තබන ලෙසයි.‘
‘බැඩ්මින්ටන් ආයතනයේ සාමාජිකයන්ට දක්ෂ හා දූරදර්ශී සභාපතිවරයකු සොයා ගැනීමට හැකිවනු ඇතැයි මට සෑම අතින්ම විශ්වාසයි. නව සභාපතිවරයා බැඩ්මින්ටන් ආයතනය තවදුරටත් ඉහළ නැංවීම සඳහා නැවුම් අදහස් සහ ඉදිරි දර්ශනයක් ගෙන එන බවට සැකයක් නැත‘ රොහාන් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.