වෙරළ කබඩි ජාතික කණ්ඩායම තේරීම් පරීක්ෂණය අවුල්

විධිමත්භාවය සහ අපක්ෂපාතීත්වය ගැන සැක බවට පැමිණිලි

Other Sports

105

ලෝක ශූරතා වෙරළ කබඩි තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමේ පරීක්ෂණය සම්බන්ධයෙන් දැඩි මතභේධාත්මක තත්ත්වයක් උද්ගතවී ඇති බව ‘මොනරා’ ක්‍රීඩා පිටුවට වාර්තා වේ. 

ඒ අනුව අදාළ තේරීම් පරීක්ෂණයේදී කබඩි තේරීම් කමිටුව වගකීම් විරහිත අයුරින් ක්‍රීයා කර ඇති බවට මෙහිදී චෝදනා එල්ල වී ඇත. එම චෝදනාවන් සම්බන්ධයෙන් මධ්‍යස්ථ පරීක්ෂණයක් පවත්වන ලෙසත් විනිවිද භාවයෙන් යුත් සාධාරණ අපක්ෂපාතී කබඩි තේරීම් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලේකම්වරයා විසින් ජාතික තේරීම් කමිටු සභාපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති බවත් දැනගන්නට ඇත. 

එම තේරීම් පරීක්ෂණය සඳහා ක්‍රීඩකයින්ගේ සහභාගිත්වය අවම මට්ටමක පැවැති බව ද පැවැසේ. එසේ වුවත් එදින රාත්‍රී 7.15 වන විටත් එම තේරීම් පරීක්ෂණයේ ප්‍රතිඵල විධිමත් ලෙස කබඩි සම්මේලනය වෙත භාරදීමට තේරීම් කමිටුව අපොහොසත්ව ඇති බව සඳහන්ය. ඒ අනුව ජාතික සංචිතයට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා තෝරාගත් අවසන් නාමලේඛනය ලබා දෙන ලෙන කබඩි සම්මේලන බලධාරීන් ඉල්ලා තිබුණ ද එය ඉදිරියේ දී ලබා දීමට කටයුතු කරන බව පවසමින් තේරීම් කමිටු සාමාජිකයන් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බව පැවැසේ. ඒ අනුව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ මෙහි දී අදාළ නාම ලේඛනයේ නිරවද්‍ය භාවය සහ විශ්වසනීයභාවය සබම්න්ධයෙන් සැකයක් මතු වන බවයි. 

එපමණක් නොව කබඩි ක්‍රීඩාව සඳහා විවිධ මැදිහත්වීම් මෙන්ම බලපෑම් සිදු කරන පුද්ගලයකු ක්‍රීඩකයින් තොරා ගැනීමේ අවස්ථාවට සහභාගි වී ඇති බවද ඉහත ලිපියේ සඳහන්ය. ඒ අනුව තේරීම් පරීක්ෂණ පවත්වන අවස්ථාවේ දී මෙන්ම ප්‍රතිඵල ලේඛන සකස්  කරන අවස්ථාව සඳහා ද අදාළ පුද්ගලයා සහභාගි කර ගත් බවත් එම නිසා මෙම තේරීම් පරීක්ෂණයේ විනිවිද භාවය සහ අපක්ෂපාතීත්වය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බව ශ්‍රී ලංකා කබඩි සම්මේලන ලේකම්වරයා යොමු කර තිබූ ලිපිය මගින් පෙන්වා දී තිබිණි. 

කෙසේ වෙතත් අදාළ තේරීම් පරීක්ෂණයේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ක්‍රීඩයින් සෑහීමකට පත් නොවූ බවද දැනගන්නට ඇත. එම නිසා ඔවුන් මේ පිළිබඳව යොමු කරන ලද අභියාචනයන්ට ද මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දීමට වගකිවයුත්තන් අපොහොසත් වී තිබීම ද කණගාටුවට කරුණකි. 

ජාත්‍යන්තර කබඩි සම්මේලනය මගින් පළමු වරට පැවැත්වීමට සැළසුම් කර ඇති ලෝක ශූරතා වෙරළ කබඩි තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම වෙනුවෙන් මෙම විශේෂ තේරීම් පරීක්ෂණය පසුගිය 23 වැනිදා මීගමුව ‘බ්‍රවුන්ස් බීච්’ වෙරළ තීරයේදී පැවැත්විණි. අදාළ තේරීම් පරීක්ෂණයෙන් ජාතික පිරිමි සංචිතය වෙත තෝරාගන්නා ක්‍රීඩකයින් නේවාසික පුහුණුවීම් සඳහා යොමු කරවීමෙන් අනතුරුව ලෝක ශූරතා තරගාවලියට එක් කිරීමට ශ්‍රී ලංකා කබඩි සම්මේලනය සැළසුම් කර තිබිණි. 

ලෝක ශූරතා පිරිමි කබඩි තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් මස 25 වැනිදා සිට 30 වැනිදා දක්වා ඉරාණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.