ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ උතුරු පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන උතුරු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ.
ලබන වසරේ ජනවාරි මස 16 වැනිදා සිට 19 දක්වා ඕමන්තෙයි වවුනියා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන මෙම සිව්දින ශූරතාවලියට මෙරට බැඩ්මින්ටන් ශේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
උතුරු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ දක්වා කනිෂ්ඨ කාණ්ඩයෙන් සහ අවුරුදු 30න් ඉහළ සිට අවුරුදු 70න් ඉහළ දක්වා ජ්‍යෙෂ්ඨ කාණ්ඩය දක්වා විවිධ වයස් කාණ්ඩ යටතේ තරග පැවත්වෙයි. කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඉසව් ඇතුළත් විවෘත තරග අංශය ප්‍රධාන තරග ඉසව්ව වනු ඇත.
මෙම ශූරතාවලියේ සමාරම්භක උත්සවය ජනවාරි 16 වැනිදා පෙරවරු 9.00ට පැවැත්වීමෙන් පසුව මූලික වටයේ තරග ආරම්භ වන අතර, එම තරග ජනවාරි 18 වැනිදා අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව වටය දක්වා පැවැත්වීමට නියමිතය. පෙළගැස්වීම ජනවාරි මස 10 වැනිදා සිදු කෙරේ.
මෙම ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට රුපියල් 7,50,000ක මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර, මීට අමතරව සියලු තරග අංශවල ශූරයන්ට, අනුශූරයන්ට සහ අවසන් පූර්ව වටයට පිවිසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත් ප්රදානය කෙරේ. තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ තීරණයට අනුව කනිෂ්ඨ තරග අංශයේ ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට මුදල් ත්‍යාග වෙනුවට වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
අන්තර්ජාලය ඔස්සේ හෝ 0761759017 දුරකතන අංකයෙන් සදීෂ ආදිත්‍ය සම්බන්ධ කරමින් උතුරු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් යොමු කළ හැකි අතර, සියලු තොරතුරු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතන වෙබ් අඩවියේ සඳහන් කර තිබේ